ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා “ජපාන විදේශ අමාත්‍යවරයාගේ උපහාරයෙන්” පිදුම් ලබයි

2022/8/9

ප්‍රකට අධ්‍යාපනඥයෙකු වන, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා වෙත ‘ජපාන විදේශ අමාත්‍යවරයාගේ උපහාරය’ ('Foreign Minister's Commendations') පිරිනැමීම, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් 2022 ජූලි මස 29 වන දින, කොළඹ 07 පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කරන ලදී.
 
දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රීලංකාව සහ ජපානය අතර ශාස්ත්‍රීය සබඳතා ගොඩනැංවීමේ ලා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරනු ලබන මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා, දිවයින පුරා පාසල් හා විශ්ව විද්‍යාල තුළ විවිධ අධ්‍යයන ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් සංවිධානය කිරීම හා සංවර්ධනය කිරීම සහ දෙරට අතර ඇති අගනා අධ්‍යාපනික බැඳීම වෙනුවෙන් පෙනීසිටීම මගින් ශ්‍රී ලාංකික සිසු ප්‍රජාව වෙත සමීපව කටයුතු කරයි.
 
මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නිලතල රැසක් දැරීය. එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධි වැඩසටහනේ ආරම්භක සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ අංශ ප්‍රධානී තනතුරේ මෙන්ම, එම පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කරනු ලැබීය. එමෙන්ම, එතුමා බොහෝ දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනවල ද සේවය කරනු ලබයි.
 

මහාචාර්ය කරුණාරත්නයන් හා ජපානය අතර ඇති සබඳතාවය දශක තුනකට ආසන්න කාලයක් පුරාවට දිව යයි. හෙතෙම ජපාන රජය විසින් පිරිනමන ලද MEXT ශිෂ්‍යත්වය යටතේ නගෝයා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතාවයේ ප්‍රබල කුළුණක් වන මහාචාර්ය කරුණාරත්නයන් ජපන් උපාධිධාරීන්ගේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගමයේ [Japanese Graduates’ Alumni Association of Sri Lanka (JAGAAS)] වත්මන් සභාපතිවරයා ලෙස දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වයට දායක වෙමින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. වර්ෂ 2019දී ටෝකියෝ විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීමෙන් පසු, හෙතෙම ජපානයේ අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකිකයින් දිරිමත් කරවමින් රට පුරා ව්‍යාපෘති කිහිපයක්, ආරම්භ කළ අතර, ශ්‍රී ලාංකික සිසු ප්‍රජාව අතර “ජපානය තුල අධ්‍යාපනය” (“Study in Japan”) වැඩසටහන ක්‍රියාත්මක කරවීම ආරම්භ කළේය.
 
ග්‍රන්ථ කතුවරයෙකු වූ ඒ මහතා, ජපානය තුළ ගත කළ කාලය තුළ ලබාගත් අවබෝධය බෙදා ගනිමින් බොහෝ ග්‍රන්ථයන් රචනා කරන ලදී. ජපානය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60වන සංවත්සරය නිමිත්තෙන් පළ කිරීමට යෙදුණු “A Journey in Harmony: Sixty Years of Japan-Sri Lanka Relations” නම් අනුස්මරණ ග්‍රන්ථය සංස්කරණය කිරීම මෙහි ලා විශේෂ වැදගත්කමක් උසුලයි.
 
ජපානය සහ විදේශ රටවල් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන දායකත්වය අගය කරනු වස්, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්නා පුද්ගලයන් සහ ආයතන වෙත ‘විදේශ අමාත්‍යවරයාගේ උපහාර’ පිරිනැමීම සිදුකරනු ලබයි.