දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ කළ්‍යාණි ලක්ෂ්මන් මහත්මිය “The Order of the Rising Sun” සම්මානයෙන් පිදුම් ලබයි
2022/8/25

2022 අගෝස්තු මස 22 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතාගේ නිල නිවසේදී පැවැත්වීමට යෙදුණු උත්සවයකදී, දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා හට “The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon” සම්මානයත්, කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය වෙත “The Order of the Rising Sun, Gold Rays with Rosette” සම්මානයත් පිරිනැමීම සිදු කරන ලදී. අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා සහ කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇත.
තානාපති මිසුකොෂි මහතා විසින් මහාචාර්ය ලක්ෂ්මන් සහ එම මහත්මිය තුළ ඇති ඉගෙනුමට වූ මහත් ආශාව හා ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔවුන් දක්වන උනන්දුව මෙන්ම, මෙම වසරේදී 70වන සංවත්සරය සමරන අප දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් මගේදී ඔවුන්ගේ පෞරුෂයන් අභිලාෂයන්ගේ ප්‍රමුඛ මූලය බවට පත්වී ඇති ආකාරය පිළිබඳව ප්‍රශංසා කරන ලදී. මහාචාර්ය ලක්ෂ්මන් සහ එම මහත්මිය මෙම සම්මානය ලැබීම ඉතා ඉහළින් අගය කළ අතර, ජපානය පිළිබඳව මෙන්ම අධ්‍යාපනඥයින් ලෙස තමන් එක්ව ආ ගමනේදී ලද අත්දැකීම්ද මෙහිදී බෙදාගනු ලැබූහ.

මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ විද්වතෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයද හොබවා ඇත. ශ්‍රී ලංකාව තුළ ජපන් අධ්‍යයන වැඩසටහන ප්‍රවර්ධනය කළ එතුමා, ජපන් විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයකම බාහිර ශාස්ත්‍රඥයෙකු ලෙස ඉගැන්වීම් වල යෙදීමෙන් හා ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමෙන් අධ්‍යාපනික හා ශාස්ත්‍රීය අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීමට කටයුතු කළේය. වර්ෂ 1987දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාපීය අධ්‍යයන වැඩසටහන වන, ජපන් අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා - ජපන් සබඳතාවයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් ඔහු විසින් සංස්කරණය කර කොළඹ විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ වෙළුම එම විෂයය පිළිබඳ වටිනා මූලාශ්‍ර ග්‍රන්ථයකි. මහාචාර්ය ලක්ෂ්මන් මහතා Lanka Nippon Biztech ආයතනයේ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජපාන විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ සහයෝගීතාවය ප්‍රවර්ධනය කළ අතර, රියොකොකු විශ්වවිද්‍යාලය, සගා විශ්වවිද්‍යාලය සහ ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසකට ද දායක විය.

ජපන් භාෂාව පිළිබඳව ලද ප්‍රවීණත්වයද සමගින් කල්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය විසින් වර්ෂ 1983 දී දේවි බාලිකා විද්‍යාලය, ලින්ඩ්සේ උසස් බාලිකා විද්‍යාලය සහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලය ඇතුළු පාසල් වල විෂය මාලාවට ජපන් භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීම හඳුන්වා දීම ආරම්භ කරන ලදී. එමෙන්ම එතුමිය රූපවාහිනී සංස්ථාව මගින් සංවිධානය කරන ලද ජපන් භාෂාව ඉගැන්වීමේ වැඩසටහන් මෙහයවීම සඳහාද සහභාගී වූවාය. ජපන් සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් ඇති ලක්ෂ්මන් මහත්මිය දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන කාලයේදී කරාතේ ක්‍රීඩාව, එස්5 ක්‍රමය සහ “ජපන් දිනය” එම විද්‍යාලයට හඳුන්වා දුන්නාය. ජපානය කෙරෙහි ඇති අතිමහත්වූ ගෞරවය හා සෙනෙහස තුළින් ලක්ෂ්මන් මහත්මිය ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උද්‍යෝගයෙන් කටයුතු කර ඇත.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන මෙම අවස්ථාවේදී, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ කල්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මිය විසින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සිදුකර ඇති ගෞරවනීය කාර්යභාරය හා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජපන් තානාපති කාර්යාලය සිය නොවක් ප්‍රශංසාව පළ කරනු ලබයි.
“The Order of the Rising Sun” සම්මානය ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින්, ජපානය සමග මිත්‍ර සබඳතා වර්ධනය කිරීම උදෙසා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විදේශීය ජාතිකයින් හට පිරිනමනු ලබයි.