ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය "ජපාන විදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්" පිදුම් ලබයි
2022/9/7

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙත ජපාන විදේශ අමාත්‍යවරයාගේ සම්මානය පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 06 වන දින කොළඹ 7 පිහිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 3 වන මැදිරියේ දී සිදු කරන්නට යෙදුණේ ය. මෙම සම්මාන උත්සවය අතිගරු ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මීට වසර 71 කට ඉහතදී සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුව අමතා සිදු කරන ලද ඓතිහාසික කතාව අනුස්මරණය කිරීම පිණිස පවත්වන්නට යෙදුණු විශේෂ රූපවාහිනී වැඩසටහනේ කොටසක් ලෙස පවත්වන්ට යෙදුණි.
ශ්‍රී ලංකාව හා ජපානය අතර සමීප සබඳතාව ගොඩ නැංවීමට කටයුතු කළ දිවංගත ජනාධිපති, ගරු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ශක්තිමත් නායකත්වයෙන් යුක්තව වර්ෂ 1955 දී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, ආරම්භයේ සිට මේ දක්වා ජපානය වෙත පමණක් 8,000 කට අධික (වාර්ෂිකව 200 කට වඩා වැඩි) අක්ෂි කුනිතයන් සංඛ්‍යාවක් පරිත්‍යාග කර ඇති අතර, ජනාධිපති ජයවර්ධනයන් ගේ වම් සහ දකුණු අක්ෂි කුනිතයන් පිළිවෙළින් ජපන් ජාතික කාන්තාවකට හා ශ්‍රී ලාංකික පුරවැසියෙකුට බද්ධ කර ඇත.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පුරවැසියන් වෙනුවෙන් සිදු කරනු ලබන කැප කිරීම් අගයමින් හා දෙරට අතර ශක්තිමත් මිත්‍රත්වය සනාථ කරමින් ජපාන රජය විසින් එම සංගමය වෙත ප්‍රදානයන් මෙන්ම තාක්ෂණික සහාය ද ලබා දී ඇත.
ජපානය සහ විදේශ රටවල් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන දායකත්වය අගය කරනු වස්, ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්නා පුද්ගලයන් සහ ආයතන වෙත ‘විදේශ අමාත්‍යවරයාගේ උපහාර’ පිරිනැමීම සිදු කරනු ලබයි.