ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය ගරු හයෂි යොෂිමස මහතා අතර සුහද හමුවක්

2022/9/27

ජපාන විදේශ අමාත්‍ය ගරු හයෂි යොෂිමස මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් සැප්තැම්බර් මස 27 වන දින  පැවැත්වීමට යෙදුණි. ගරු වික්‍රමසිංහ මහතා හිටපු ජපාන අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ මහතාගේ නිල අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිණිස මේ දිනවල ජපානයට පැමිණ සිටියි.
 
මෙම හමුවේදී අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම වෙනුවෙන් අමාත්‍ය හයෂි මහතා විසින් ගරු වික්‍රමසිංහ මහතා වෙත සිය කෘතඥතාවය පළ කර සිටි අතර, හිටපු අග්‍රාමාත්‍ය අ‌බේ මහතා සමග පසුගිය කාලයෙදී පැවති හමුවීම් සිහිපත් කළ ගරු වික්‍රමසිංහ මහතා, හෙතෙම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ මිතුරෙකු බව ප්‍රකාශ කරමින් එතුමාගේ අභාවය වෙනුවෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.
 
“නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර” [“Free and Open Indo-Pacific” (FOIP)] කලාපයක් පිළිබඳව වන ජපානයේ දැක්ම ක්‍රියාවට නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීමට ජපානයේ ඇති කැමැත්ත ප්‍රකාශ කළ අමාත්‍ය හයෂි මහතා, දිගු කාලීන මිතුරෙකු ලෙස ජපානය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති ඇ.එ.ජ. ඩොලර් මිලියන 3ක මානූෂීය ආධාර සහ ඉදිරියේදී ලබාදීමට නියමිත අතිරේක  ඇ.එ.ජ. ඩොලර් මිලියන 3.5ක ආධාර පිළිබඳව සඳහන් කළේය. ජපානය විසින් ලබාදෙනු ලබන මෙම සහයෝගය වෙනුවෙන් ගරු රනිල් වික්‍රමසිහ මහතා සිය කෘතඥතාව පළ කළේය.
 
ජාත්‍යන්තර නීතිරීති හා ප්‍රමිතීන්ට අනුකූලව, විනිවිදභාවයෙන් යුක්තව හා සාධාරණ ලෙස සංවර්ධන මූල්‍ය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අමාත්‍ය හයෂි මහතා අවධාරණය කළේය. සියලුම ණය හිමි රටවල සහභාගීත්වයෙන්, විනිවිදභාවයෙන් යුක්තව හා සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ගරු වික්‍රමසිංහ සහ අමාත්‍ය හයෂි යන මහත්වරුන් දෙපළම විසින් අවධාරණය කරන ලදී.
 
ජනාධිපති වික්‍රමසිංහ සහ අමාත්‍ය හයෂි යන මහත්වරුන් දෙපළම විසින් යුක්‍රේනයේ සහ ඉන්දු-ශාන්තිකර කලාපයේ තත්ත්වය ඇතුළු ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, ගැටුම් කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. මීට අමතරව, උතුරු කොරියාව සම්බන්ධ ගැටළු වන පැහැරගැනීම් සහ සැප්තැම්බර් මස 25වන දින සිදුකිරීමට යෙදුණු බැලස්ටික් මිසයිල දියත් කිරීම වැනි න්‍යෂ්ටික හා මිසයයිල ගැටළු විසඳීම සඳහා සමීපව සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව ඔවුහු තහවුරු කළහ. අවිහරණය හා ප්‍රගුණනය නොකිරීම වැනි ගෝලීය ගැටළු විසඳීමට සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ සඳහාද දෙරටම අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවට ඔවුහු තහවුරු කළහ.