ජපාන - ශ්‍රී ලංකා නායක හමුව
2022/9/29

ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සැප්තැම්බර් මස 28 වන දින පැවැත්වීමට යෙදුණි. ගරු වික්‍රමසිංහ මහතා හිටපු ජපාන අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ මහතාගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිණිස මේ දිනවල ජපානයට පැමිණ සිටියි.
හමුව ආරම්භයේදී අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය කිෂිඩා මහතා විසින් ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙත සිය කෘතඥතාවය පළ කර සිටින ලදී. තමා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ අවධියේදී හිටපු අග්‍රාමාත්‍ය අබේ මහතා සමග සමීපව කටයුතු කළ බව සිහිපත් කළ ගරු වික්‍රමසිංහ මහතා, එතුමාගේ අභාවය පිළිබඳව තමා තවමත් කම්පනයෙන් යුක්තව සිටින බව ප්‍රකාශ කළ අතර, ඒ් වෙනුවෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් පිරීම නිමිත්තෙන් “නිදහස් සහ විවෘත ඉන්දු-ශාන්තිකර” [“Free and Open Indo-Pacific” (FOIP)] කලාපයක් පිළිබඳව වන සිය දැක්ම ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ජපානය කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍ය කිෂිඩා මහතා ප්‍රකාශ කර සිටියේය. ජපානයේ දීර්ඝ කාලීන මිත්‍ර රටක් වශයෙන් වත්මන් මානුෂීය තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකාව වෙත මානුෂීය ආධාර ලබා දෙන බවද අග්‍රාමාත්‍ය කිෂිඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර නීතිරීති හා ප්‍රමිතීන්ට අනුකූලව, විනිවිදභාවයෙන් යුක්තව හා සාධාරණ ලෙස සංවර්ධන මූල්‍ය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය කිෂිඩා මහතා විසින් පෙන්වා දුන් අතර, සියලුම ණය හිමි රටවල සහභාගීත්වයෙන්, විනිවිදභාවයෙන් යුක්තව හා සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ නායකයින් දෙපළම විසින් අවධාරණය කරන ලදී.
කලාපීය තත්ත්වය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් නායකයින් දෙපළ පවතින තත්ත්වය බලහත්කාරී ලෙස ඒකපාර්ශ්විකව වෙනස් කිරීම පිළිගත නොහැකි බව අවධාරණය කළහ.