හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ඒකාබද්ධ ණය යාන්ත්‍රණය පිළිබඳ ද්වීපාර්ශවික සහයෝගීතාවයට අත්සන් තැබීමෙන් ජපානය විසින් බලශක්ති සහ පරිසර ආයෝජන පුළුල් කෙරේ
2022/10/10

2022 ඔක්තෝබර් මස 10 වෙනි දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක්ව ජපානය සහ ශ්‍රී ලංකාව අතර අඩු කාබන් වර්ධන හවුල්කාරීත්වය සඳහා වන ඒකාබද්ධ ණය යාන්ත්‍රණ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී. මෙම විශේෂ අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතා සහභාගී විය. මෙම වැඩපිළිවෙළ යටතේ ජපානයේ ප්‍රමුඛතම කාබන් වියෝජන තාක්ෂණයන් සහ යටිතල පහසුකම් ආයෝජනය සහ තාක්ෂණික හුවමාරුව මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම මගින් හරිතාගාර වායු විමෝචනය අඩුකරමින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට ජපානය දායක වනු ඇත.

ජපානය, 2011 වසරේ සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ඒකාබද්ධ ණය යාන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, ශ්‍රී ලංකාව ජපානයේ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය හවුල්කාරීත්වයේ 23 වැනි හවුල්කාර රට බවට මේ අනුව පත්විය. මෙම හවුල්කාරීත්වය යටතේ, ජපන් රජය විසින් 2050 වසර වන විට කාබන් උදාසීනත්වය සඳහා ශ්‍රී ලංකා රජයට විමෝචනය අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට උපකාර කිරීම සඳහා ජපන් සමාගම් වෙතින් ආයෝජන සහ තාක්ෂණ හුවමාරැව සඳහා මූල්‍ය ආධාර මෙන්ම සහය ලබා දෙනු ඇත.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70 ක් සපිරෙන මෙම සුවිශේෂී වර්ෂයේදී මෙම හවුල්කාරීත්වයේ ක්‍රියාත්මක වන පරිදි, ජපානය පරිසර සහ බලශක්ති ක්ෂේත්‍ර වල සහය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයට තවදුරටත් දායක වනු ඇති අතර, ගෝලීය මට්ටමෙන් පාරිසරික වෙනස්වීම් එක්ව පාලනයට සහය දක්වනු ඇත.