උතුරු ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජපානය සහාය දක්වයි
2022/10/19

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපන් රජය විසින් හේලෝ භාරයට ඇමරිකානු ඩොලර් 647,887 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 230) ක මුදලක් ලබා දී ඇත. මෙම ආධාර ප්‍රදානය සඳහා වන ගිවිසුම 2022 ඔක්තෝබර් 19 වන දින කොළඹ පිහිටි ජපන් තානාපති නිළ නිවහනේදී ජපාන තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ හේලෝ භාරයේ වැඩසටහන් කළමනාකරු ස්ටෙෆන් හෝල් මහතා අතර අත්සන් කරන ලදී.

හේලෝ 2002 වසරේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරන ලද අතර එහි නිෂ්කාශණ කටයුතුවලින් ආසන්න වශයෙන් 20% ක් ජපන් ආධාර හරහා සිදු කරන ලදී. අභ්‍යන්තරව අවතැන් වූවන් සඳහා බිම් බෝම්බ වලින් දූෂිත ප්‍රදේශ ආරක්ෂිත ඉඩම් බවට පත් කිරීමට සහ කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල සෘජුව හා වක්‍රව 11,000 කට ආසන්න ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට පහසුකම් සැලසීමක් වශයෙන් මෙම මූල්‍ය වර්ෂයේ දී මේ ව්‍යාපෘතිය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජපානය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රධාන අරමුදල් සපයන්නා වන අතර දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධාන හතරටම සහාය වන ප්‍රමුඛතමයා ද වේ. බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතිය (GGP) සඳහා වන ආධාර ප්‍රදානය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 42.7 කට වැඩි ආධාර ජපානය මේ සඳහා ලබා දෙන ලදී.

මේ වසරේ ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවට ලබාදෙන ජපානයේ නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් කලාප සංවර්ධනය කිරීමයි. ජපන් රජය විසින් “බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක්” සාක්ෂාත් කර ගැනීමේ රජයේ ඉලක්කය සඳහා වන ප්‍රයත්නයට අඛණ්ඩව සහාය දෙනු ඇත.

මෙම ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් ස්ටෙෆන් හෝල් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“හේලෝ භාරය ජපන් රජයට ඔවුන් දක්වන අඛණ්ඩ විශ්වාසය සහ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් ඉතාමත් කෘතඥ වෙනවා - ඔවුන් අපගේ දීර්ඝතම ආධාර සපයන්නායි. උතුරු ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වසර විස්සක් පුරා ලබා දෙන මානුෂීය ආධාරවල ප්‍රතිඵලයක් ලෙස මීට පෙර පුපුරණ ද්‍රව්‍ය වලින් දූෂිත වී තිබූ වර්ග කිලෝමීටර් හතකට අධික භූමි ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇත. තවද, මෙම ක්‍රියාවලියේදී බිම් බෝම්බ 54,000කට අධික ප්‍රමාණයක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය දහස් ගණනක් ආරක්ෂිතව විනාශ කර ඇති අතර එහිදී දැන් තවදුරටත් ජීවිත හානියක්, තුවාලයක් හෝ මරණයක් සිදු විය නොහැක. බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය මගින් එල්ල වී ඇති තර්ජනය ඉවත් කිරීම තුළින් අභ්‍යන්තරව අවතැන් වූවන් ආරක්ෂිතව නැවත පදිංචි කිරීමට ඉඩකඩ සලසන අතර සමාජ-ආර්ථික සංවර්ධනය සහ ඵලදායී ලෙස භාවිතය සහ ඉඩම් වගා කිරීම සඳහා අවස්ථා විවෘත කරයි. ජපානයෙන් ලැබෙන අරමුදල් දේශීය කාන්තාවන් සහ පිරිමින් සිය ගණනකට ස්ථාවර ආදායමක් සහ ජීවනෝපායක් ද සපයයි. හේලෝ භාරය ඇතුළු තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරන ක්‍රියාකරුවන් තිදෙනෙකුට ජපන් රජයෙන් ලැබෙන මෙම අඛණ්ඩ සහයෝගය, 2028 ජුනි 1 වන විට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමට අනුව සියලු දන්නා බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍යවලින් රට ඉවත් කිරීමේ වගකීම් ඉටු කිරීමට ගන්නා ප්‍රයත්නයට එක් පියවරකින් හෝ ශ්‍රී ලංකා රජය සමීප කරවීම සඳහා දායකත්වය ලබාදෙනු ඇත.”