එක්සත් ජාතීන්ගේ කාන්තාවන් සහ ජපන් රජය ශ්‍රී ලංකාවේ අර්බුදය මධ්‍යයේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දක්වයි

2022/10/27
කොළඹ, ශ්‍රී ලංකාව (2022ඔක්තෝම්බර් 26) – “රටේ පවතින වර්තමාන තත්ත්වය නිසා මගේ සැමියාගේ ආදායම විශාල ලෙස අඩු වෙලා. අපේ මුළු පවුලම දැන් යැපෙන්නේ මගෙන්”, ශ්‍රී ලංකාවේ අම්පාර ප්‍රදේශයේ මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කේ. වනිතා පවසන්නීය. ජීවන වියදම ඉහළ යාමත්, මිලදී ගැනීමේ හැකියාව ශීඝ්‍රයෙන් පහත වැටීමත් නිසා වනිතා මෙන් බොහෝ කාන්තා ව්‍යවසායකයින් විශාල බරක් කරට ගනිමින් තම ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමට අරගල කරති.


ලංකාවේ ආර්ථික පසුබෑමෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කාන්තා ව්‍යවසායකයින්ට උපකාර කිරීම සඳහා ජපන් රජයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ කාන්තාවන් විසින් රුපියල් මිලියන 50.4 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 140,000) ක් වටිනා උපකරණ සහ නිෂ්පාදන වත්කම් ලබා දෙන ලදී. 2022 ඔක්තෝම්බර් 26 වන දින ජපන් තානාපති මිසුකොෂි මැතිතුමා විසින් කොළඹ පැවති උත්සවයක දී මෙම වැඩසටහන මගින් සහාය ලබාදෙන කාන්තා ව්‍යවසායකයින් වෙත මහන මැෂින් සහ පිටි අඹරන යන්ත්‍ර වැනි උපකරණ කිහිපයක් ප්‍රදානය කරන ලදී. මීට අමතරව අම්පාර, මොණරාගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලින් කාන්තාවන් 384 දෙනෙකුට ද ආධාර ලබා දෙන ලදී.

මෙම ආධාරය ජපන් රජය විසින් අරමුදල් සපයන ‘ශ්‍රී ලංකාවේ කාන්තාවන්, සාමය සහ ආරක්ෂක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය ක්‍රියාත්මක කරන තුන් අවුරුදු ව්‍යාපෘතියේ කොටසකි.
 

කොළඹ දී පැවති උත්සවයට සහභාගී වෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය: “ මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ කුසලතා වර්ධනය කර ඇති අතර, ඔවුන් අනෙක් කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට සහ ඒ මගින් ශ්‍රී ලාංකේය සමාජය තුළ ඒකාබද්ධ ලෙස ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීමට කටයුතු කරනු ඇත”.


කාන්තාවන් සහ ගැහැණු ළමුන් සහන සහ ප්‍රතිසාධන ප්‍රයත්නවල කේන්ද්‍රස්ථානයේ තැබීමේ අවශ්‍යතාවය ගැන කතා කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා සඳහන් කළේ; “සංවෘත සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා රටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩියෙන් සිටින කාන්තාවන් සහ ගැහැණු ළමයින් මේ හා සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වන බවත්,  එක්සත් ජාතීන්ගේ කාන්තාවන් සහ ශ්‍රී ලංකාව සමඟ අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් ජපානය තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයට අනුකූලව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් ඉදිරියට ගෙන යාමට කැපවී සිටීන බවත්ය”.

මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ ක්‍රිස්ලිස් (Chrysalis) විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය පිළිබඳ ධාරිතා ගොඩනැගීමේ පුහුණුව කාන්තාවන් 800 කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත.

 “කාන්තා ආර්ථික සවිබල ගැන්වීම සඳහා ආයෝජනය කිරීම එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ මූලික ප්‍රතිපත්තියයි. මෙම ව්‍යාපෘතිය හරහා සහය දක්වන ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරවල අඛණ්ඩතාව, වර්ධනය සහ විවිධාංගීකරණය සහතික කිරීම සඳහා වෙනත් ස්ථාපිත ව්‍යවසායකයින්ගෙන් තනි තනිව ව්‍යාපාරික පුහුණු කිරීම් සහ උපදේශනය ලැබේ” යයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය භාර  නිලධාරීනී ඒස්තර් හූල් මෙනවිය පැවසීය.


මෙම ආධාර ප්‍රදාන සඳහා සුදුසුකම් ලැබූ වනිතා ඇතුළු සහභාගිවන්නන් විසින් ව්‍යාපාර සැලසුම් සකස් කරන ලද අතර, ඒවායේ ශක්‍යතා තක්සේරු කිරීම සහ ඉල්ලූම් කරන ලද ආධාර ප්‍රදානය කිරීම සඳහා පළාත් පාලන නිලධාරීන්, ආංශික තාක්ෂණික නිලධාරීන් සහ බාහිර පාර්ශ්වකරුවන් ඇතුළු ස්වාධීන මණ්ඩලයක් විසින් සමාලෝචනය කරන ලදී. මෙකී ව්‍යවසායන් බෝග වගාව, කෘෂි ව්‍යාපාර, ඇඟලුම්, පශු සම්පත් පාලනය, ආහාර නිෂ්පාදනය, කුළුබඩු ඇඹරීම, කුඩා සිල්ලර බඩු, පොල් සහ තල් වටිනාකම් දාමයන් යනාදී තවත් අංශ කිහිපයක් හරහා විහිදේ.

තම මැහුම් ව්‍යාපාරය සඳහා මහන මැෂිමක් ලබාගත් වනිතා මෙසේ කීවාය. “නිමි ඇඳුම්වල මිල ඉහළ ගොස් ඇති නිසා වැඩි පිරිසක් මැසීම සඳහා රෙදි මිලදී ගැනීමට පටන් ගෙන තිබෙනවා. මෙය මගේ ව්‍යාපාරය පුළුල් කිරීමට සහ අනාගත ආයෝජන සඳහා මහත් උපකාරී වනු ඇත.