'වශොකු', සම්ප්‍රදායික ජපන් ආහාර වැඩමුළුව
2022/11/29
'වශොකු', වෙනස්කම් අතර සංහිඳියාව සහ සමබරතාවය
ජපන් සංස්කෘතිය හා බැදුනු, ජපන් ආහාර සම්ප්‍රදාය 'වශොකු' (和食) ලෙස හැදින්වේ. මෙම ආහාර පිසීම අතුරු කෑම කිහිපයක් සමඟ සකස් කරන ලද බත් බඳුනකින් සමන්විත වේ. මෙම සම්ප්‍රදාය නිරූපනය කරන "和" යන කන්ජි අක්ෂරයෙහි අර්ථය ‘සංහිඳියාව’ බව දැන ගැනීම වැදගත් වේ. එසේම, සියලුම කෑම වර්ග සමස්ථයක් ලෙස එකිනෙක සමඟ හොඳින් ගැළපෙන අතර, ඒ ඒ රසයන් අතර ඉතා හොද සමතුලිතතාවයක් පවතී. මෙය ආහාර වේල අගය කිරීමට පමණක් නොව, ආහාර වේලට වෙනත් ආකාරයක ගැඹුරක් එකතු කිරීමටද ඉවහල් වේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව 'වශොකු' ආහාර වර්ග පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම පිළිබඳ වැඩමුළුවක් 2022 නොවැම්බර් 28 වන දින ජාතික තරුණ සේවා සභාවේහිදී පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී, ‘කරඅගේ’ (බැදපු මස්), ‘චිකන් නන්බන්’ (කුකුළු මස්, විනාකිරි සහ ටාටාර් සෝස් ආදිය භාවිතා කොට සකස් කෙරේ.) සහ චිකන් තෙරියකි (පැණි රස සෝයා සෝස් සහ කුකුළු මස් ආදිය භාවිතා කොට සකස් කෙරේ) යන ආහාර වර්ග පිළියෙළ කරන ලදී. ජාතික තරුණ සේවා සභාවෙහි සූපශාස්ත්‍ර පාඨමාලා සිසුන් මෙන්ම, එහි උපදේශකයින් සහ ජාතික තරුණ සේවා සභාවෙහි නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගී විය.

'වශොකු' යනු විවිධ රසයන් අතර සංහිඳියාව සහ සමතුලිතතාවය මත පදනම් වූවක් බැවින්, මෙම වසරේ 70 වැනි සංවත්සරයේ සන්ධිස්ථානය සනිටුහන් කරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍ර සබඳතාවය සමඟ බැඳී ඇති මූලික වටිනාකම් මෙම අවස්ථාව ඔස්සේ සංකේතාත්මකව නිරූපණය කරනු ලබයි.
