වසර පහක නිහැඬියාවකින් පසු ‘බොන් ඔදොරි’ උත්සවය නැවතත් කලඑළි බසියි

2022/12/14

වසර පහකට පසු පසුගිය දෙසැම්බර් 10වන දින, මහරගම පිහිටි ජාතික තරුණසේවා සභාවේදී එම සභාව හා ජපන් සහයෝගිතා සංගමය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව ‘බොන් ඔදොරි’ උත්සවය පවත්වන ලද අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර  රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 70වන සංවත්සරය හා සමගාමීව එම උත්සවය පැවැත්වීමට යෙදුණි‍.
 

‘බොන් ඔදොරි’ යනු වසරකට වතාවක් මනුෂ්‍ය ලෝකය වෙත පැමිණෙන බවට විශ්වාස කෙරෙන, මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් පිළිගෙන ආපසු යැවීමේ චාරිත්‍රයෙන් ඇරම්භවූ ජපන් සම්ප්‍රදායක් වන අතර, එය ජපානය තුළ එරට සංස්කෘතික සම්ප්‍රදායේ හදවත සහ ආත්මය මෙන් සලකා ඉතා ප්‍රකටව සමරනු ලබයි.


කොළඹ ජපන් පාසලේ සහ Lanka Nippon BizTech ආයතනයේ (LNBTI) සිසුන් විසින් මෙවර බොන් ඔදොරි නර්තනය ඉදිරිපත් කරන ලද අතර, ජපන් පාසලේ සිසුන්ගේ නර්තනාංග සහ ජපන් බෙර ප්‍රසංගය මෙන්ම කරාතේ සංදර්ශණයක් හා ජාතික තරුණසේවා සභාවේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විසින් ඉදිරිපත් කරන ලද නර්තන හා බෙර වාදන වලින්ද මෙවර උත්සවය සමන්විත විය. මෙම අවස්ථාවට එක්වීම සඳහා ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සාම්ප්‍රදායික සංගීතඥ දෙපළක් වන නමි මකිඔකා මහත්මිය සහ මොමොකො ඉබුසුකි මහත්මිය සජීවී සංගීත සංදර්ශණයක් ඉදිරිපත් කරමින් උත්සවය වර්ණවත් කළහ.   


ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ,  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති  අතිගරු මිසුකොෂි හිදෙඅකි, ජාතික තරුණසේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා සහ Lanka Nippon BizTech ආයතනයේ සභාපති මහාචාර්ය ආනන්ද කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ. උත්සවයට පැමිණ සිටි නරඹන්නන් හට නැටුම් ගැයුම් මෙන්ම, Nihonbashi, Ginza Hohsen, Kuuraku, The Sushi Bar Samurai, Ichi-zen වැනි ප්‍රකට ජපන් අවන්හල් සහ ජාතික තරුණසේවා සභාවේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විසින් පිළියෙල කරන ලද ප්‍රණීත ජපන් ආහාර පානාදියෙන්ද සන්තර්පණය වීමේ අවස්ථාව ලැබුණි.


ජපාන රජයේ දායකත්වයෙන් ඉදිකරන ලද ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේදී මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය පවත්වනු ලැබීම සුවිශේෂී සිදුවීමක් සේ සැලකිය හැක.  

මෙම විශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද විශේෂ රූපවාහිනී වැඩසටහනක් පසුගිය 11 වැනිදා විකාශය කරනු ලැබූ අතර, එහි යූ ටියුබ් දිගුව පහතින් දක්වා ඇත.
 
https://m.youtube.com/watch?v=84X9jtPNV4U