ජපාන තානාපති මිසුකොෂි මහතා ත්‍රිකුණාමලයේ හා පොළොන්නරුවේ සංචාරයක නිරත වෙයි

2023/2/18
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා පෙබරවාරි මස 15 සිට 17 දක්වා ත්‍රිකුණාමලයේ හා පොළොන්නරුවේ සංචාරයක සංචාරයක නිරත විය. මෙය එතුමා විසින් මෙම දිස්ත්‍රික්ක දෙකෙහි සිදුකළ ප්‍රථම සංචාරයයි.
 
ත්‍රිකුණාමලයේ සංචාරය අතරතුර තානාපතිවරයා විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය, රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා ඇතුළු ප්‍රදේශය නියෝජනය කරන වාණිජ මණ්ඩලයේ සමාජිකයින් හා ආගමික නායකයින් පිරිසක් හමුවිය. මෙහිදී තානාපතිවරයා විසින් ගරු ආණ්ඩුකාරතුමිය සමග පුනර්ජනනීය බලශක්තිය, නිෂ්පාදන සහ සංචාරක වැනි විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ත්‍රිකුණාමලයේ සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා ලදී. තානාපතිවරයා හා රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා අතර හමුවේදී ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අනාගත සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු විය.
 

ත්‍රිකුණාමලයේදී තානාපති මිසුකොෂි මහතා ජපානයේ Peace Winds සංවිධානය විසින් සංවිධානය කරන ලද කාබනික ගොවිතැන පිළිබඳ දැනුවත් කිරීමේ සංසදයට සහභාගී වූ අතර, එහිදී කාබනික ගොවිතැනෙහි යෙදෙන ප්‍රදේශයේ ගොවි මහතුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. එහිදී පිරිස අමතා කතා කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා ජපන් රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය.


පෙබරවාරි 17වන දින තානාපති මිසුකොෂි මහතා, ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජපාන රජයේ ආධාර යටතේ පිරිනැමෙන, රුපියල් බිලියන 2.63ක් වටිනා රාත්‍රී යාත්‍රාකරණ  පද්ධතිය එම වරාය වෙත භාරදීමේ අවස්ථාවට සහභාගී විය. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා වැඩිදියුණු කිරීම තුළින් ආර්ථික වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකිවනු ඇති බවට තානාපතිවරයා විශ්වාසය පල කළේය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


පොළොන්නරුවේ සිදුකළ සංචාරයේදී තානාපති මිසුකොෂි මහතා හට ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා හා එක්ව පෞරාණික නගරයේ ඓතිහාසික උරුමය ගවේෂණය කිරීමේ අවස්ථාව ලැබුණි. යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයේ ඇති වැදගත් පුරාවිද්‍යාත්මක නටබුන් තානාපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කරගත්තේය. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සංචාරය කළ තානාපතිවරයා ප්‍රදේශයේ වාරි පහසුකම්වල වැදගත් කාර්යභාරය පිළිබඳව අවබෝධයක් ලබාගත්තේය.