ජපානය, බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා සහය දක්වයි.

2023/3/9
බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන යටතේ, මෙම  ආධාර ප්‍රදාන සඳහා වන ගිවිසුම් පත්‍ර අත්සන් තැබීම 2023 මාර්තු 9 වන දින ජපන් තානාපති නිල නිවසේදී, ජපන් තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහ පිළිවෙලින් අදාල ආයතනයන්හී නිලධාරී මහත්ම මහත්මීන් වන වැඩ කරන කාන්තා හඬ හි සභාපතිනී (VOWW),හර්ෂනී සඳමාලි ඥානසිංහ මහත්මිය, වීදි දරුවෝ (STREET CHILD) හී වැඩසටහන් කළමණාකාර, අමරසිංහම් ගජෙන්දිරන් මහතා සහ පෙරගමන සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීනී, ධර්මා එස්. සමරණායක මහත්මිය අතර සිදු කරන ලදී.
 
ජපන් රජය විසින් ඇමෙරිකානු ඩොලර් 203,703ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 73.5ක්) අම්පාර වාර්ගික ගැටුම් වලින් පීඩාවට පත් ප්‍රදේශයේ “වාරි මාර්ග පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතියටත්”, මඩකලපුවේ “මාවඩිමුන්මරි රජයේ දෙමළ මිශ්‍ර පාසලෙහි පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය” සඳහා සහ “මොණරාගල කොටියාගල ප්‍රදේශයේ පොදු මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය” සඳහා  “බිම් මට්ටම මානව ආරක්‍ෂක ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීමේ” යෝජනා ක්‍රමය යටතේ  ලබා දී ඇත.
 
පළාත් පාලන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අවදානමට ලක්විය හැකි ජනතාව සඳහා තිරසාර ජීවන පරිසරයක් ගොඩනැගීම සඳහා වන ජපානයේ අඛණ්ඩ සහයෝගය සඳහා තමන්ගේ ස්ථිර කැපවීම රු තානාපති මිසුකෝෂි මහතා මෙහිදී  යළි තහවුරු කළේය. කලාපීය ආර්ථික විෂමතාවල වැදගත්කම සඳහන් කරමින් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ සංවර්ධනය තුළින් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ තිරසාර වර්ධනයක් ලබා ගැනීම හැකිවනු ඇතැඑතුමා පැවසීය.


අම්පාර ගැටුම් වලින් පීඩාවට පත් ප්‍රදේශයේ වාරි මාර්ග පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් අමුණක් ඉදිකිරීම සහ වාරිමාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා තිරසාර ජල කළමනාකරණයක් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු කරයි. මෙම ප්‍රදේශය, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පිහිටා ඇති අතර බොහෝ ගොවීන්ට තම ඉඩම් වගා කළ හැක්කේ වර්ෂා කාලයේ මාස කිහිපයකදී පමණි. නව වාරිමාර්ග පද්ධතිය මඟින් පවුල් 595 කට වසර පුරා ගොවිතැන් කිරීමට සහ බෝග නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාවක් ලැබේ.
 
මෙම ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් ඥානසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, “මෙම ව්‍යාපෘතිය යටතේ වන ක්‍රියාකාරකම් අතර (I) “අමුණක් (වෙයාර්) ඉදිකිරීම, (II) අබලන් වූ වාරිමාර්ග යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම සහ පවතින ඇළ මාර්ග දිගු කිරීම ඇතුළු ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වන ගොවි සංවිධාන සහ එහි සාමාජිකයන් (පිරිමි සහ ගැහැණු) ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන බවයි. පුනරුත්ථාපනය කරන ලද ප්‍රදේශයේ වගා කරන ප්‍රධාන බෝගය වී (සහල්) වේ. අත්‍යවශ්‍ය අංගයක් ලෙස අක්කර 400ක පමණ එළවළු වගාවකට ප්‍රමාණවත් ජලය සැපයීමද මෙයට ඇතුළත් වේ. යෝජිත කටයුතු, ව්‍යාපෘතිය ආරම්භ කර වසරක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති අතර, තවද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් සහ කාන්තාවන් සම්බන්ධ ගැටළු පිළිබඳ සාමාන්‍ය දැනුවත්භාවයේ අඩුවක් පෙන්නුම් කරන බැවින් කාන්තා සවිබල ගැන්වීම වැඩිදියුණු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවයක් පවත්වා ගැනීමට ද මේ මගින් පියවර ගනු ඇත” යනුවෙනුයි.


මඩකලපුවේ මාවඩිමුන්මාරි රජයේ දෙමළ මිශ්‍ර පාසලෙ හි පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අරමුණ වනුයේ දරුවන්ට ප්‍රමාණවත් සහ සුවපහසු අධ්‍යාපනික පරිසරයක් සැපයීමයි. මෙම පාසල ඉතා දුරස්ථව පිහිටා ඇති බැවින් කලාප අධ්‍යාපන කාර්යාලය විසින් “ඉතා දුෂ්කර” පාසලක් ලෙස වර්ගීකරණය කර ඇත. මේ වන විට පන්තිකාමර හිඟය හේතුවෙන් පිටත පන්ති කිහිපයක් පැවැත්වෙන අතර මෙම නව ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිය මගින් පාසලට පැමිණෙන නැවත පදිංචි වූ ළමුන් සඳහා ආරක්ෂිත පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර පහසුකම් සහිත පන්ති කාමරයක් ලබා දෙනු ඇත. මේ මගින් ළමුන් 113 දෙනෙකු සහ ගුරුවරුන් 13 දෙනෙකුට අන්තර්ක්‍රියාකාරී පන්ති කාමර අවකාශයකට අමතර ප්‍රවේශයක් සහිත ආරක්ෂිත සහ හිතකර ඉගෙනුම් අවකාශයන් වෙත ප්‍රවේශ වීමෙන් ප්‍රතිලාභ හිමිවෙනු  ඇත.
 
අමරසිංහම් මහතා සඳහන් කළේ, ”වීදි දරුවෝ ආයතනය (STREET CHILD) රටවල් 21 ක් පුරා ක්‍රියාත්මක වන බවත් එහි අරමුණ වන්නේ දරුවන් පාසලේදී සහ විශේෂයෙන් අඩු සම්පත් පරිසරයන් සහ හදිසි අවස්ථා වලදී ඉගෙනීමේදී ඔවුන්ගේ සුරක්ෂිත බව සහතික කිරීමයි. ශ්‍රී ලංකාව තුළ, වීදි දරුවෝ ආයතනය 2017 වසරේ සිට අඩුම ක්‍රියාකාරී දිස්ත්‍රික්ක හරහා ඵලදායි ප්‍රාථමික අධ්‍යාපන වැඩසටහන් සහ පාසල් පුනරුත්ථාපනය සිදු කරයි. ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම ආන්තික සහ අඩු පහසුකම් සහිත ළමුන් කිහිප දෙනෙකුගේ නිවහන වේ. වසර ගණනාවක ගැටුම්, දේශපාලන පෙරළි සහ COVID-19 හේතුවෙන් රට දැවැන්ත මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින අතර, මෙම දරුවන්ට පාසලේ රැඳී සිටීමට සහ දීප්තිමත් අනාගතයක් පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මෙවැනි සහායන් වඩාත් අවශ්‍ය වන බවය”.


”මොණරාගල කොටියාගල පොදු මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මගින් කොටියාගල දුෂ්කර ගම්මානවල ප්‍රධාන ජීවනෝපාය පහසුකම් සහ වෙළෙඳ පොළ, පාසල් හෝ රෝහල් වැනි ආයතන වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම ප්‍රධාන ලෙස අරමුණු කරයි. මෙම ගම්මානවල පදිංචිකරුවන්ට තම මූලික ජීවනෝපාය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආසන්නතම නගරයට ළඟා වීමට ආරක්ෂිත ප්‍රවේශ මාර්ගයක් නොමැතිකම මේ වන විට අභියෝගයට ලක්ව ඇත. ඔවුන් දැනට භාවිත කරන්නේ දැඩි අවදානම් සහිත තාර නොදැමූ මාර්ගයකි. ආරක්ෂිතම පදික මාර්ගය කිලෝමීටර 6-7ක් පමණ දිගු වන අතරදුර පයින් ගමන් කළ යුතුය. යෝජිත මාර්ගය ගම්වැසියන් 800 කට පමණ ඊළඟ තිබෙන ආරක්ෂිත විකල්පයට සාපේක්ෂව අඩක් පමණක් දුරින් ආසන්නතම නගරයට ආරක්ෂිත සහ පහසු ප්‍රවේශයක් ලබා දෙනු ඇත”.
 
සමරනායක මහත්මිය සඳහන් කළේ, ”ජීජීපී ආධාර යටතේ පළමු ව්‍යාපෘතිය පෙරගමන සංවිධානය විසින් සාර්ථකව අම්පාර දිස්ත්‍රික්කයේ ආන්තික ගම්මානයක් වන ලාතුගල ප්‍රදේශයේ නළ ළිං කිහිපයක් සහ ප්‍රජා සංවර්ධන කටයුතු පිහිටුවීමේ වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක කරන ලද බවකි. මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ කොටියාගල ගම්මානයට කිලෝමීටර් 2.5ක් දිග දෙවුපුදගම මාර්ගය සංවර්ධනය කිරීමට ජීජීපී අරමුදල් යළිත් ලබා දී ඇත. මාර්ග පහසුකම් සංවර්ධනය කිරීම තුළින් මෙතෙක් ගමනාගමන පහසුකම් නොමැතිකම හේතුවෙන් දුගී ගොවීන්, පාසල් සිසුන් සහ සමස්ත ප්‍රජාව මුහුණ න් දුෂ්කරතා අවම වේ. ජපන් ජීජීපී සහය ඇතිව ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ප්‍රජාවට ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇත” යනුවෙනුයි.


ශ්‍රී ලංකාව තුළ, බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා වන ආධාර ප්‍රදාන (GGP) වර්ෂ 1989 දී ආරම්භ වූ අතර, මෙම ව්‍යාපෘති තුන ද  ඇතුළුව ව්‍යාපෘති 314ක් සඳහා ආධාර ප්‍රදාන ලබා දී ඇති අතර, දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 57ක් දක්වා ප්‍රදානය කර ඇත.