කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ මනා සෞඛ්‍ය සඳහා සහය වන්නට ජපානය, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක අරමුදල් දායකත්වයක් ලබා දෙමින් UNFPA සමග අත්වැල් බැඳගනියි

2023/4/20
(කොළඹ, ශ්‍රී ලංකාව) ජපාන රජයේ අරමුදල් දායකත්වය හරහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල [United Nations Population Fund (UNFPA) ]  විසින් "ජීවිත සුරකින ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය වෙත ප්‍රවේශය සහතික කෙරෙන, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සහ කාන්තාවන්, අවදානමට අනාවෘත ගැහැණු ළමුන් හා ශාරීරික, මානසික හෝ සමාජයීය වශයෙන් වරප්‍රසාද නොමැතිකමින් සිය මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි සහ ඊට විශේෂ සහය අවශ්‍ය - vulnerable groups) කණ්ඩායම් වෙත ප්‍රතිචාර දැක්වීමේ සේවා සපයන" සිය නවතම ව්‍යාපෘතිය වූ ENSURE ක්‍රියාවට නංවනු ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 4.6ක් වටිනා ව්‍යාපෘතියක් වන මේ හරහා, ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයේ බලපෑමට ලක් වූ කාන්තාවන්ට, ගැහැණු ළමුන්ට සහ අවදානමට අනාවෘත වූවන්ට මනා සෞඛ්‍යය සඳහා අවශ්‍ය අයිතම අඩංගු (hygiene kits) දෑ ලබාදීමට සහ ජංගම සායන සේවාවන් සැපයීමට අදහස් කර ඇත.
 
මෙම කාලෝචිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම පිණිස UNFPA සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය මෙරට සොඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු හා සමාජ බලගැන්වීම් අමාත්‍යාංශය සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත. එහිදී උතුරු නැගෙනහිර සහ මධ්‍යම පළාත් ඇතුළු පළාත් පහක දිස්ත්‍රික්ක 7ක වෙසෙන කාන්තාවන්, ගැහැනු ළමුන් හා තරුණ ප්‍රජාව මිලියන 3ක පමණ සංඛ්‍යාවක් රැක ගැනීමට අදහස් කෙරෙයි. ඉලක්කගත දිස්ත්‍රික්ක හඳුනා ගන්නා ලද්දේ, දිස්ත්‍රික් මට්ටමේ දරිද්‍රතා අනුපාතිකය, සමීපතම සහකරුවන් වෙතින් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් අනුපාතිකය ආදී කරුණු යොදා ගැනීමෙනි. තවද ආර්ථිකය බිඳ වැටීමෙන් සහ දිගු කාලීන සමාජ-ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමට ලක් වූ අය ආරක්ෂා කිරීමට ද මෙම ව්‍යාපෘතියෙන් ඉලක්ක කෙරෙයි.
 
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා විශේෂයෙන්ම කියා සිටියේ, භාණ්ඩ හා සේවාවන්ගේ මිළ ඉහළ යාම් සහ ආදායම් අඩුවීම් නිසා සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීම අභියෝගයක් බවට පත්ව ඇති බවයි. මෙවැනි කාලවකවානුවක මෙරට කාන්තාවන් හා ගැහැණු ළමුන්, සහ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල අවදානමට අනාවෘත වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන ද ඔහු සඳහන් කළේය. මෙරට කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ කාන්තාවන් හා ගැහැණු ළමුන්ගේ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව සහය ලබාදීමට, ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත හා දිගුකාලීන හිතමිතුරකු වශයෙන් ජපානය සතු දැඩි කැපවීම ගැන ද මිසුකොෂි තානාපතිවරයා සිහිපත් කළේය.
 
මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලසුම, 2022 මගින් ඇස්තමේන්තු ගත කළ ආකාරයට ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාව, මානුෂීය සහාය නොපමාව ලැබිය යුතු අය අතර සිටියි. ඒ අතරින් මිලියන 4.9 ක් ම ආහාර සුරක්ෂිතතාව නොමැති අය වේ. ඔසප් සෞඛ්‍යය සම්බන්ධ නිෂ්පාදන වල මිල ගණන් බදු වැඩි වීම් ද සහිතව අහස උසට නැගුණේ 2022 මාර්තු මාසයේ සිට ය. රුපියල් 300කට වැඩි මිලක් ගෙවා සනීපාරක්ෂක තුවා 10කින් යුත් පැකැට්ටුවක් මිලට ගැනීම පසෙක තබා, සිය පවුලේ කුසගිනි නිවන්නට සහල් කිලෝවක් හෝ දෙකක් මිළට ගන්නට එම මුදල වැය කරමින්, තමන්ගේ සෞඛ්‍යය ඒ වෙනුවෙන් කැප කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයට ඔවුන් පත්ව ඇත්තේ ඒ අයුරිනි. සෞඛ්‍ය සේවා පිරිවැය දිගින් දිගටම ඉහළ යාමත්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීමත් නිසා ජීවිත රැකගැනීමට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට අහිමි වී ඇත.
 
UNFPA ශ්‍රී ලංකා නියෝජිත කුන්ලො අදෙනියි මහතා මෙකී ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින්, කියා සිටියේ, "කාන්තාවන් සහ ගැහැනු ළමුන් තමන් සතු හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා බව අප විමසා බැලිය යුතුයි. එසේම, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සහය ලබාදීම ද අප කළ යුතුයි. ඒ අනුව, ENSURE වැඩ සටහන සමඟ අප සංවිධානය වන UNFPA සහ ජපාන රජය ද කැපවී සිටින්නේ කාන්තාවන්, තරුණ ප්‍රජාව සහ ආබාධ සහිත අයට, ජිවිත සුරකින ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙත අඛණ්ඩ ප්‍රවේශය පවතින බව සහතික කිරීමටයි. දිස්ත්‍රික්ක හා කලාපීය මට්ටමින් ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂණ ක්‍රමවේදයන් සවිමත් කිරීමට ද අප කැපවී සිටින්නෙමු. ආරක්ෂක නිවාස සේවාවන් වෙත සහය ලබාදීමත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීම පිණිස වැදගත් වන ඖෂධ හා වෙනත් දෑ සැපයීමත්, ආරක්ෂිතව දරුවන් බිහි කිරීමේ හැකියාව කාන්තාවන් වෙත ලැබෙන බැව් සහතික කිරීමත් එම කැපවීමට අයත් වැඳගත් කොටසකි. මෙම මහඟු කර්තව්‍යය ආරම්භ කරමින්, අපගේ සියලු පාර්ශ්වකරුවන් සමඟ එක්ව එකී අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට මම අපේක්ෂා කරමි." යනුවෙනි.