ජපානය විසින් "ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ජපන් යෙන් මිලියන 503 (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.7) ක ආධාර ප්‍රදාන සපයයි

2023/4/26

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඉහළ ගොස් ඇති ආසාදිත අපද්‍රව්‍ය, කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් මිලියන 503 (දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.7) ක ආධාර ප්‍රදානයක් ලබා දීම සඳහා වන සටහන් වලට අත්සන් කිරීම අප්‍රේල් 26 වන දින තානාපති මිසුකොෂි මැතිතුමා විසින් සිදුකරන ලදී.
 
2020 මාර්තු මාසයේ දී නිකුත් කරන ලද "කොවිඩ්-19 ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ මාර්ගෝපදේශ" ආදිය මත පදනම්ව, වෛද්‍ය අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සහ ආසාදිත අපද්‍රව්‍ය විෂබීජහරණ උපකරණ හරහා ආසාදිත අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම දිරිමත් කර ඇත. නමුත් වර්තමානයේ  ඇතිව තිබෙන අයවැය බාධාවන් නිසා නිසි පහසුකම් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කර නොමැත.


තවද, කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ ආසාදිත අපද්‍රව්‍ය වැඩිවීම හේතුවෙන්, ආසාදිත අපද්‍රව්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ දැනට පවතින ආසාදිත අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානවල සැකසුම් ධාරිතාව ඉක්මවා ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ආසාදිත රෝග කාරකවලට නිරාවරණය වීම, එළිමහනේ පිළිස්සීමෙන් හෝ දිරාපත්වීමට හැර ඒම අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය හානිය, ඩයොක්සින්, දුම සහ අප්‍රසන්න ගන්ධයන් පිටවීම වැනි ගැටලු මතුවෙමින් තිබේ.


මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ පළාත් නමයම ආවරණය වන පරිදි රෝහල් 15 ක උෂ්ණත්ව පාලන සහ පිටාර වායු පිරිපහදු උපකරණ සහිත වෛද්‍ය අපද්‍රව්‍ය දහන යන්ත්‍ර ස්ථාපිත කෙරේ. මෙම ව්‍යාපෘතිය මඟින් ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ හැකියාව වැඩි කිරීමටත්, පාරිසරික බලපෑම් අවම වන ලෙස, වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් පිරිසැකසුම් කිරීමටත්, අවට පරිසරයට අපද්‍රව්‍ය නිකුත් කිරීමේ ධාරිතාවය අඩු කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.