ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි

2023/7/29

 
2023 ජූලි මස 29 වන දින මෙරට නිල සංචාරයක නිරත වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. ප.ව. 02.20ට (ජපානයේ වේලාවෙන් ප.ව. 5.50ට) යෙදී තිබූ මෙම හමුව මිනිත්තු 35ක පමණ කාලයක් පැවති අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා හා සාකච්ඡා කරන ලද කරුණු වල සාරාංශය පහත පරිදි වේ.
 

1. ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් දෙවරක් ජපානයේ සංචාරය කිරීම ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය යෙදී තිබූ පසුගිය වසරේ සිට ජපානය සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින සම්භාවනීය පුද්ගලයින්ගේ හුවමාරුවීම් පිළිබඳව සඳහන් කළ අමාත්‍ය හයෂි මහතා ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ග ඔස්සේ උපාය මාර්ගික සන්ධිස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව "නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර [Free and Open Indo-Pacific (FOIP)]" කලාපයක් සාක්ෂාත්  කරගැනීමේ ලා වැදගත් හවුල්කරුවෙකු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දීර්ඝ ඉතිහාසයක් ඇති බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ජපානයේ දීර්ඝකාලීන ආර්ථික සහයෝගීතාවයට සිය කෘතඥතාව පළ කළේය.

2. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් තවදුරටත් අපේක්ෂා කරන අතරතුර, ණයහිමි රටවල් සියල්ල සම්බන්ධයෙන්  විනිවිද පෙනෙන සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණයක වැදගත්කම දෙපාර්ශ්වයම විසින් තහවුරු කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සිය ප්‍රසාදය පළ කළේය.

3. මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් ප්‍රදාන ආධාර (JDS) වැඩසටහන සඳහා වූ ගිවිසුම් හුවමාරුවට අත්සන් තැබීමේ උත්සවය අමාත්‍ය හයාෂි  සහ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්, සුහද හමුවට පෙර පැවති අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙදෙනාම තම එකඟත්වය ප්‍රකාශ කළහ.

4. ඉදිරියේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට අමාත්‍ය හයෂි මහතා සහ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා එකඟ විය.