ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්‌ගේ හමුව සහ දිවා භෝජන සංග්‍රහය

2023/7/29

 
2023 ජූලි මස 23වන දින මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයෂි යොෂිමස මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු එම්. යූ. එම්. අලි සබ්‍රි මහතා අතර හමුවක් පෙ.ව. 11.00ට (ජපානයේ වේලාවෙන් ප.ව. 2.30ට) පැවැත්වීමට යෙදිණි. පැයකුත් මිනිත්තු 50ක පමණ කාලයක් පුරාවට පවත්වන්නට යෙදුණු මෙම හමුවේදී අමාත්‍යවරුන් දෙපළ දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී වූ අතර, එහිදී සාකච්ඡා කරන ලද කරුණු වල සම්පිණ්ඩනය පහත පරිදි වේ.
 

1. ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් දෙවරක් ජපානයේ සංචාරය කිරීම ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය යෙදී තිබූ පසුගිය වසරේ සිට ජපානය සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින සම්භාවනීය පුද්ගලයින්ගේ හුවමාරුවීම් පිළිබඳව සඳහන් කළ අමාත්‍ය හයෂි මහතා ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ග ඔස්සේ උපාය මාර්ගික සන්ධිස්ථානයක පිහිටා ඇති, "නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර [Free and Open Indo-Pacific (FOIP)]" කලාපයක් සාක්ෂාත්  කරගැනීමේ ලා වැදගත් හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමඟ සක්‍රීයව, සහයෝගයෙන් කටයුතු කිරීමට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළේය.

2. නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ නිදහස් හා විවෘත ජාත්‍යන්තර පිළිවෙතක් පවත්වාගෙන යාම හා එය ශක්තිමත් කිරීම සහ "නිදහස් හා විවෘත ඉන්දු-ශාන්තිකර " කලාපයක් සඳහා වන නව සැලැස්ම ඇතුළුව G7 හිරෝෂිමා සමුළුවේ ප්‍රතිඵල අමාත්‍ය හයෂි මහතා විසින් පැහැදිලි කරන ලදී. එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මුලසුන හෙබවීමට නියමිත ඉන්දියානු සාගර වටද්දර සංගමය [Indian Ocean Rim Association (IORA)] සමඟ සහයෝගීතාවයට ජපානය විසින් ඉහළ වැදගත්කමක් ලබාදෙනු ලබන බවද හෙතෙම ප්‍රකාශ කළේය. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සබ්‍රි මහතා IORAහි සභාපති වශයෙන් ජපානයේ ක්‍රියාකාරී මැදිහත්වීම සඳහා තම බලාපොරොත්තුව ප්‍රකාශ කළේය.

3. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැඩිදුර  ප්‍රගතිය සහ සියලුම ණය දෙන රටවල් සහභගී වන විනිවිද පෙනෙන හා සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණයක වැදගත්කම පිළිබඳව අමාත්‍ය හයෂි සිය අපේක්ෂාවන් ප්‍රකාශ කළේය. විනිවිද පෙනෙන සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ප්‍රකාශ කළ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සබ්‍රි මහතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානය විසින් ලබාදුන් දායකත්වය පිළිබඳව නැවතත් කෘතඥතාව පළ කළේය.
 

4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කළ අමාත්‍ය හයෂි මහතා, හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව නැවත සංවර්ධනයේ මාවත කරා එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. ජාතික සංහිඳියාව සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට සහ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කළ හෙතෙම, මෙම ප්‍රයත්නය සඳහා ජපානයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සබ්‍රි මහතා වෙත සැල කර සිටියේය. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සබ්‍රි මහතා මෙම කර්තව්‍යයෙහි ලා ජපානයෙන් ලැබෙන සහයෝගීතාව පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

5. න්‍යෂ්ටික නිරායුධකරණය සහ ප්‍රගුණනය නොකිරීම ඇතුළු ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකාව විසින් විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම [Comprehensive Nuclear Test Ban Treaty (CTBT)] අනුමත කිරීම අමාත්‍ය හයෂි මහතා විසින් බෙහෙවින් අගය කරනු ලැබීය.

6. අමාත්‍ය හයෂි මහතා විසින් උසස් ද්‍රව සැකසුම් පද්ධතිය [Advanced Liquid Processing System (ALPS)] මගින්  පිරිපහදු කළ ජලය සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සබ්‍රි මහතා ශ්‍රී ලංකාව අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ  [International Atomic Energy Agency (IAEA)] සාමාජිකයෙකු බවත්, එහි ක්‍රියාවලිය විශ්වාස කරන බවත් පැවසීය.

7. යුක්‍රේනයේ සහ නැගෙනහිර ආසියාවේ තත්ත්වය ඇතුළු කලාපීය තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා සිය අවංක අදහස් හුවමාරු කර ගත්හ. මෙම සන්දර්භය තුළ, අමාත්‍ය හයෂි මහතා යුක්‍රේනයේ සිට කළු මුහුද හරහා ලෝකයේ විවිධ ප්‍රදේශවලට ධාන්‍ය අපනයනය සක්‍රීය කර ඇති වැඩපිළිවෙලෙහි [Black Sea Grain Initiative (BSGI)] වැදගත්කම යළිත් තහවුරු කළ අතර, රුසියාව විසින් එම වැඩපිළිවෙල වළක්වාලීම ආහාර අනාරක්ෂිත භාවය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දරන ප්‍රයත්නයන්ට පටහැනිවන අතර, ඒ් සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වන බවත්,  ජාත්‍යන්තර ප්‍රජාව එක්සත්ව රුසියාවට දැඩි ලෙස බල කළ යුතු බවත් පවසා සිටියේය.