යාපනයේ මූලායි සමුපකාර රෝහලට ජපානය මගින් ගිලන්රථ පරිත්‍යාග කරයි

2023/8/10

අගෝස්තු  මස 10 වැනි දින, ජපන් තානාපති ගරැ මිසුකොෂි හි‌දෙඅකි මහතා ගැටුම් ඇතිවූ  ප්‍රදේශයන් හී වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මූලායි සමුපකාර රෝහල් සමිතියට භාවිතා කරන ලද ගිලන් රථ දෙකක් පරිත්‍යාග  කිරීමේ උත්සවයට සහභාගී විය.


මෙම ව්‍යාපෘතිය යටතේ, ජපන් රජය විසින් භාවිතා කරන ලද ගිලන් රථ දෙකක් සහ ඒවා ආනයනය කිරීම සඳහා ඇ.ඩො. 36,759 ක ආධාර ලබා දෙන ලදී. මෙම රෝහලේ සතියකට ආසන්න වශයෙන් රෝගීන් 1,500ක් පමණ රෝහල් සේවාවන් භාවිතා කරන අතර, මෙම ව්‍යාපෘතිය මගින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් සඳහා ජංගම උපදේශන සේවා ඇතුළුව නියමිත වේලාවට සෞඛ්‍ය සේවා සැපයීමට මෙන්ම, අවශ්‍ය හොඳ තත්ත්වයේ ගිලන් රථ  ලබා දීම මගින් යාපනයේ අසල්වැසි රෝහල් වෙත හදිසි ප්‍රතිකාර සහ හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමට ද හැකියාව ලැබේ. ඒ මගින්. වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට වඩා හොඳ ප්‍රවේශයක්  ලබා දීමෙන් උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ. තවද මෙමගින් තීරණාත්මක සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවයට මහඟු පිටිවහලක් ලැබේ.


තානාපති මිසුකොෂි මහතා, ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශයන් සඳහා අඛණ්ඩව සහය දැක්වීමට ජපානයේ ඇති කැපවීම ප්‍රකාශ කළ අතර, “ජපාන ආධාර ප්‍රදාන වල වැදගත් අරමුණක් වන්නේ ගැටුම්වලින් සිදුවන හානිවලට පිළියම් යෙදීම සහ සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම” බවත් පවසා සිටියේය. තවද මෙම ප්‍රදානය මෙම කලාපයේ වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමටත් උතුරේ සහ දකුණේ ජීවන මට්ටම් අතර ඇති හිඩැස පිරවීමටත් දායක වනු ඇතැයි එතුමා ප්‍රාර්ථනා කර සිටියේය.