ජපන් රජය විසින් සුනිල් ගාමිණී විජේසිංහ මහතාට 2023 සැප්තැම්බර් 19 වන දින “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානය පිරිනමයි
2023/9/20

2023 සැප්තැම්බර් මස 19 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ [Japan Sri Lanka Technical & Cultural Association (JASTECA)] හිටපු සභාපති සුනිල් ගාමිණී විජේසිංහ මහතා වෙත “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානය ප්‍රදානය කරන ලදී. ජපන් කළමනාකරණ ශෛලීන් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම මගින් ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට ඒ මහතා විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත.
විජේසිංහ මහතා ශ්‍රී ලංකාව තුළ ජපන් කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. ජපන් තාක්‍ෂණය සහ කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳ ඔහුගේ ගැඹුරු අධ්‍යයනය 1980 දී ජපානයේ පුහුණු අභ්‍යාසලාභියෙකු ලෙස ගත කළ කාලය දක්වා දිව යයි. JASTECA හි දිගුකාලීනව කැපවූ සාමාජිකයෙකු ලෙස, “තත්ත්ව කව” ඇතුළු ජපන් කළමනාකරණ ක්‍රම හඳුන්වා දීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔහු තම ඉංජිනේරු පසුබිම උපයෝගී කර ගත්තේය. මෙහිදී ගුණාත්මකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා විධායක නොවන සේවකයින් සම්බන්ධ කිරීමේ පද්ධතිය; ආයතනික කළමනාකරණය සහ පාරිභෝගික තෘප්තිය වැඩි දියුණු කිරීම සඳහා වර්ග කිරීම, පිළිවෙලට සැකසීම, පිරිසිදු කිරීම, ප්‍රමිතිකරණය සහ තිරසාර කිරීම ඇතුළත් වන “5S” මූලධර්මය සහ ආයතන තුළ අඛණ්ඩ වැඩිදියුණුව ඇති කිරීමේ භාවිතාවක් වන “කයිසන්” මූලධර්මය හඳුන්වා දීමටද මෙතුමා මූලික විය.

ශ්‍රී ලංකාව තුළ ජපන් කළමනාකරණ ක්‍රමවේද හඳුන්වාදීම පමණක් නොව ප්‍රචලිත කිරීම සහ ස්ථිරව ස්ථාපිත කිරීම පිළිබඳවද තානාපති මිසුකොෂි මහතා විජේසිංහ මහතාට ප්‍රශංසා කළේය. මෙම ප්‍රයත්නය රටේ ආර්ථික වර්ධනයට හා ප්‍රගතියට වැදගත් කාර්යභාරයක් ඉටු කළා පමණක් නොව, එය ජනතාවගේ යහපැවැත්මේ සමස්ත දියුණුවක් ඇති කිරීමටද හේතු වූ බව හෙතෙම අවධාරණය කළේය. තවද, විජේසිංහ මහතාගේ කාර්යය ශ්‍රී ලංකාව තුළ ජපානය පිළිබඳ විශේෂ ඇගයීමක් සහ අවබෝධයක් වර්ධනය කර ඇති බව තානාපති මිසුකෝෂි අවධාරණය කළේය.
“The Order of the Rising Sun” ජපානය සමඟ මිත්‍රශීලී සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින් සඳහා ජපන් අධිරාජයා විසින් පිරිනමනු ලබන සම්මානයකි.
තවද මෙම සුවිශේෂී උත්සවය හරහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.