විදේශ කටයුතු පිළිබඳ ජපාන පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා මානුෂීය ආධාර සඳහා ජපානයේ ඇති නොසැලෙන කැපවීම යලිත් තහවුරු කරයි
2023/10/10

ඔක්තෝබර් 10 වැනි දින, ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා වන ගරු කොමුරා මසහිරො මහතා, එක්සත් ජාතීන්‌ගේ ලෝක ආහාර වැඩසටහනේ [World Food Programme (WFP)] සහයෝගය ඇතිව සංවිධානය කරන ලද හදිසි ආහාර ආධාර සහ පෝෂණ ආධාර ලබාදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයට සහභාගී විය. මෙම සුවිශේෂී අවස්ථාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධිකි මහතා සහභිගී විය.

ජපාන රජයේ පරිපූරක අයවැය මගින් ලබාදුන් ඩොලර් මිලියන 6.5 ක අරමුදලින් ලෝක ආහාර වැඩසටහන විසින් ලබා ගන්නා ලද සහල්, පරිප්පු, එළවළු තෙල්, බඩඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 7,200 කට අධික ආහාර සහ පෝෂණ ඇසුරුම්, පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මසහිරො විසින් ලබා දෙන ලදී. 2022 වර්ෂයේ ජූනි මාසයේ ලෝක ආහාර වැඩසටහනෙහි හදිසි මෙහෙයුම ආරම්භ කළ දින සිට මේ දක්වා ජපානය මේ වෙනුවෙන් දක්වන ලද සම්පූර්ණ දායකත්වය ඇ.ඩො. මිලියන 10 ඉක්මවයි. උග්‍ර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින පාසල් සිසුන්, ගර්භණී සහ කිරි දෙන මව්වරුන් ඇතුළු ප්‍රතිලාභීන් මිලියන 2 කට ආසන්න ගණනකට මෙම මානුෂීය ආධාරයෙන් ප්‍රතිලාභ ලැබී ඇත.

පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මහතා සිය අදහස් දැක්වීමේදී පවසා සිටියේ, ලබාදෙන මෙම ආධාර මගින් අවශ්‍යතාවන් ඇති ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට, වඩා හොඳ ජීවන තත්වයක් ඇතිව ජීවත් වීමට මෙය උපකාරී වනු ඇතැයි තමන් අවංකවම බලාපොරොත්තුව වන බවයි. තවද, ශ්‍රී ලංකාව සමඟ ජපානයේ ඇති දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහය සහ සහයෝගීතාව අඛණ්ඩව ලබා දීමට ඔහු කැපවී සිටින බව ප්‍රකාශ කළේය.