මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ(ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි
2023/10/20

2023 ඔක්තෝබර් මස 20 වන දින, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින්, කැලණිය විශ්වවිද්‍යාලයේ, මානවශාස්ත්‍ර පීඨයේ, නූතන භාෂා අධ්‍යයනාංශයේ, ජපන් භාෂාව පිළිබඳ මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය වෙත ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයʼ (ʻForeign Minister's Commendationʼ) පිරිනමන ලදී.
මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාවේ උන්නතියට මෙන්ම දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ ජපන් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ ක්‍රියාකාරිනියකි. ජපන් භාෂා ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මහාචාර්ය රත්නායක මහත්මිය පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයකට පත්වූවාය. වර්තමානයේදී ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ, නූතන භාෂා අධ්‍යයනාංශයේ, 1වන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යක වශයෙන් සේවය කරයි.
ඇය 2002 සැප්තැම්බර් මාසයේදී ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද නිරිතදිග ආසියානු තරුණ ආරාධිත වැඩසටහනට (Southwest Asian Youth Invitation Program) තේරී පත් වූ අතර, පසුව 2005 වසරේදී ජපන් රජය විසින් පිරිනැමෙන ʻමොන්බුෂොʼ (ʻMonbushoʼ) ශිෂ්‍යත්වයෙන් පිදුම් ලැබුවාය. ජපානයේ නගොයා විශ්වවිද්‍යාලයේ, Graduate School of Letters වෙතින් මහාචාර්ය රත්නායක මහත්මිය සිය දර්ශනපති හා ආචාර්ය උපාධීන් දිනාගන්නා ලදී.

මහාචාර්ය රත්නායක මහත්මිය ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ සංකේතයකි. ජපන් භාෂාව පිළිබඳ ඇගේ හසල දැනුම තුළින් පන්තිකාමරය තුළ ඉගැන්වීමට පමණක් සීමා නොවූ මහාචාර්ය රත්නායක මහත්මිය, ජපන් භාෂාවට අදාළ විවිධ ප්‍රකාශන, ලිපි සහ ඉදිරිපත් කිරීම් හරහා පුළුල් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවක් වෙත සමීප වී ඇත. ජපන් භාෂා අධ්‍යාපනය කෙරෙහි ඇය දක්වන උනන්දුව සහ කැපවීම ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට හේතු වී ඇති අතර, ශිෂ්‍යයින්ගේ උනන්දුව ද සැලකිය යුතු ලෙස පුළුල් කර ඇත.
විදේශ අමාත්‍යවරයාගේ සම්මානය ලැබීම පිළිබඳව මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ තානාපති මිසුකොෂි මහතා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ ඇගේ නොපසුබස්නා උත්සාහය වෙනුවෙන් සිය ඉමහත් වූ ගෞරවය පළ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක මහත්මිය ඉදිරියටත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් මීළඟ ශිෂ්‍ය පරම්පරාවන් ද ජපන් භාෂාව අධ්‍යයනය කිරීමේ ලා යොමුකරවනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය. මෙම උත්සව අවස්ථාව ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමේ ලා උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
ජපානය සහ අනෙකුත් රටවල් අතර මිත්‍රත්වය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමෙහිලා කැපී පෙනෙන දායකත්වයන් ලබා දී ඇති පුද්ගලයින් සහ සංවිධානයන් වෙත විදේශ අමාත්‍යවරයාගේ සම්මානය පිරිනමනු ලබයි. සම්මානයට පාත්‍රවන්නන් ගේ ක්‍රියාකාරකම් සඳහා ජපන් ජනතාවගේ සහයෝගය ලබා ගැනීම ද මෙම සම්මානය පිරිනැමීමේ අරමුණකි.