තානාපති මිසුකොෂි මහතා ලෝක ආහාර වැඩසටහන හා එක්ව පාසැල් හා සෞඛ්‍ය සායන වෙත ආහාර ද්‍රව්‍ය ලබාදෙයි

2023/10/26

ඔක්තෝබර් 25 වැනි දින, මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලය සහ මාතෘ හා සෞඛ්‍ය සායනයක් වෙත, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ හදිසි ආහාර ආධාර සහ පෝෂණ ආධාර ලබාදීමේ වැඩපිළිවෙලට අදාළව ජපන් රජයේ ආධාර යටතේ ලැබුණු ආහාර ද්‍රව්‍ය භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සහභාගී විය. ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධිකි මහතාද මෙම අවස්ථාවට සහභාගී විය (WFP Sri Lanka).  


ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී එහි දරු දැරියන් හට තානාපතිතුමා සියතින්ම අහාර පිළිගන්වන ලදී. ආහාර වේල භුක්ති විඳි දරුවන්ගේ මුහුණුවල මතුවූ ප්‍රීතිය අපගේ සාමූහික සහයෝගීතාවයේ  ඇති වැදගත්කමෙහි පිළිබිඹුවක් විය. මීට අමතරව, උඩහමුල්ලේ පිහිටි මාතෘ හා සෞඛ්‍ය සායනයට පැමිණි අවස්ථාවේදී තානාපතිවරයා විසින් ගැබිණි මව්වරුන් වෙත ත්‍රිපෝෂ පැකට් බෙදාදුන් අතර, ඔවුන් සමඟ කථාබහේදී ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හරහා අපගේ සහයෝගිතා ප්‍රයත්නයේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරන ලදී.


2022 ජුනි මාසයේදී ලෝක ආහාර වැඩසටහනේ හදිසි මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ඒ සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 10 කට වඩා වැඩි මුදලක් දායක කර ඇත. අද වන විට මෙම මානුෂීය ආධාර වැඩසටහන දැඩි ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ පාසල් සිසුන් සහ ගැබිනි හෝ කිරිදෙන මව්වරුන් ඇතුළු මිලියන 2 කට ආසන්න පිරිසක් වෙත ප්‍රතිලාභ ළඟාකර දී ඇත.