ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය සහ දර්ශන් මුනිදාස මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” (“The Order of the Rising Sun”) සම්මානයෙන් පිදුම් ලබයි

2023/11/3
2023 නොවැම්බර් මස 3 වන දින, ජපාන රජය විසින් “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” ( “The Order of the Rising Sun”) සම්මානලාභීන් ගේ නම් ප්‍රකාශයට පත්කරන ලදී. මෙවර වසන්ත සම්මාන ප්‍රදානයේදී ගෞරවයට පාත්‍ර වූ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු පිදුම් ලබන අතර,  ජපන්-ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් විසින් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය අගයමින් මෙම ගෞරවනීය සම්මානය පිරි නමා ඇත. ඔවුන්ගේ විස්තර පහත පරිදි වේ.


ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය
ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් (The Order of the Rising Sun, Gold and Silver Rays)
සභාපතිනිය, ජාත්‍යන්තර ඉකෙබානා ශ්‍රී ලංකා සංසදය
 සූසෙයිපිල්ලේ මහත්මිය ‘ඉකෙබානා’ මල් කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත


දර්ශන් මුනිදාස මහතා
ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් (The Order of the Rising Sun, Gold and Silver Rays)
නිහොන්බෂි අවන්හලේ ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරු
මුනිදාස මහතා ශ්‍රී ලංකාව තුළ ජපන් ආහාර ප්‍රචලිත කිරීමට දායක වී ඇත

ජපන් ඉකෙබානා මල් කලාවේ කෙල පැමිණි ශිල්පිණියක වන ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය දීර්ඝ කාලයක් පටන් ශ්‍රී ලංකාව තුළ එම කලාවේ දස්කම් දක්වමින් සිටී. වර්ෂ 1983දී ඉකෙබානා මල් කලාවේ ʻසොගෙත්සුʼ ශෛලියෙන් සිය ගමන ආරම්භ කළ  ‘ශිරෝමි මහත්මිය, එම කලාව පිළිබඳව තිබූ දැඩි උනන්දුව හේතුවෙන්, සිය විශේෂ හැකියාව ඊළඟ පරම්පරාවටද දායාද කිරීමට පෙලඹුණාය. 2011 වසරේදී එම කලාව සම්බන්ධයෙන් සහතික ලත් උපදේශකවරියක් බවට පත්වූ වූ ඇය, එතැන් පටන් ඉකෙබානා මල් කලාව ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කරවීමටත්, එහි සුන්දරත්වය සහ ශිල්පීය ක්‍රම බොහෝ දෙනෙකුට ඉගැන්වීමටත් මූලිකත්වය ගෙන ඇත. ලොව පුරා ජාත්‍යන්තර ඉකෙබානා ප්‍රදර්ශන සඳහා ද සිය කලා කෘති ඉදිරිපත් කර ඇති ශිරෝමි මහත්මිය, එම කලාව ගෝලීය වශයෙන්ද ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත.   
 
ඇය විසින් ඉකෙබානා මල් කලාව ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් පුළුල් ශ්‍රී ලාංකීය ප්‍රජාවක් වෙතට එය හඳුන්වා දීම වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් සිදුකර ඇත. සිංහල බසින් රූපවාහිනියේ සහ මුද්‍රිත මාධ්‍යයන්හි පවත්වන ලද සම්මුඛ සාකච්ඡා සහ පළ කර ඇති ලිපි ඔස්සේ මෙම සුන්දර කලාව සිය සහෝදර පුරවැසියන් වෙත හුරුකරවීමට ඇය ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.
 
ශිරෝමි මහත්මියගේ අද්විතීය හැකියාව සාම්ප්‍රදායික ජපන් ඉකෙබානා කලාව හා මොනවට මුසුවී ඇති අන්දම ඇගේ කලා කෘතීන් තුළ මනාව පිළිබිඹු වෙයි. ශ්‍රී ලංකාවට හුරු පුරුදු තුරුලතා සමඟ අනුනාද වන අන්දමට සැලකිල්ලෙන් තෝරාගත් මල් සහ බඳුන්වල සිට, නිර්මාණය කරන ලද විශිෂ්ට හැඩතල සහ ප්‍රකාශන දක්වා වන පුළුල් පරාසයක විහිදුණු ඇගේ සුවිශේෂී ඉකෙබානා කලා හැකියාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද ප්‍රශංසාවට පාත්‍රවී ඇත.
 
දර්ශන් මුනිදාස මහතා සූප‍ෙවේදී ක්ෂේත්‍රෙය් කීර්තිමත් චරිතයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ සැබෑ ජපන් ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අයෙකු වශයෙන් ප්‍රකටය. වර්ෂ 1995 දී සුප්‍රසිද්ධ නිහොන්බෂි  අවන්හල ආරම්භ කළ දා පටන්, හෙතෙම ශ්‍රී ලාංකීය කෑම මේසයට ජපන් ආහාර විද්‍යාවේ නිමැවුම් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු විය. උසස්ම තත්ත්වයේ ජපන් අමුද්‍රව්‍ය සපයා ගැනීමට හා සාම්ප්‍රදායික ජපන් සූපශාස්ත්‍ර ශිල්පීය ක්‍රම පවත්වාගෙන යාමට දක්වන කැපවීම තුළින් මුනිදාස මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව තවදුරටත් වර්ධනය කරමින් පාරිභෝගිකයින් වෙත උසස් භෝජන අත්දැකීමක් ළඟාකර දී ඇත.
 
ජපන් ආහාර සහ ආහාර සංස්කෘතිය ගෝලීය වශයෙන් ප්‍රචලිත කිරීමට ඔහු දරන නොපසුබස්නා උත්සාහය අගය කරනු වස්, වර්ෂ 2013 හා 2015දී ඒ මහතා පිළිවෙලින් තානාපති විශේෂ ප්‍රශංසාවෙන් හා ජපන් ආහාර විදේශයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් පිරිනැමෙන අමාත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව, වර්ෂ 2021දී ජපානයේ කෘෂිකර්ම, වන සම්පත් හා ධීවර අමාත්‍යවරයා විසින් ʻජපන් ආහාර වෙනුවෙන් වූ සුහද තානාපතිʼ (Japanese Cuisine Goodwill Ambassador) ලෙස මුනිදාස මහතා පත්කරන ලදී.
 
මුනිදාස මහතා තම සූපවේදී ක්ෂේත්‍රෙයන් ඔබ්බට, සංස්කෘතික හුවමාරුව සඳහා වූ සිය නොසැලෙන කැපවීම තුළින් ජපන් - ශ්‍රී ලංකා සබඳතා තර කිරීමට සක්‍රීයව දායක වී ඇති අතර, එමඟින් දෙරට අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කර ඇත.
 
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සූසෙයිපිල්ලේ මහත්මිය සහ මුනිදාස මහතා විසින් සිදුකරන ලද විශිෂ්ට කැපවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලය සිය නොවක් අගය කිරීම පළකර සිටින අතර, මෙම සම්මානයන්ට පාත්‍රවීම වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් එක් කරනු ලබයි.