මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේස් නෙක් රිබන්” (“The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon”) සම්මානයෙන් පිදුම් ලබයි
2023/11/9
2023 නොවැම්බර් මස 9 වන දින මහනුවර දී පවත්වන්නට යෙදුණු උත්සවයකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා වෙත “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේස් නෙක් රිබන්” (“The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon”) සම්මානය ප්‍රදානය කරන ලදී. ජපානය සහ ශ්‍රී ලංකාව අතර තිරසාර ශාස්ත්‍රීය හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා මහාචාර්ය දිසානායකයන් විසින් දක්වා ඇති සුවිශේෂී දායකත්වයට පිදෙන උපහාරයක් වශයෙන් මෙම සම්මානය ප්‍රදානය කිරීමට යෙදුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා සහ විශ්වවිද්‍යාල පරිපාලන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කීර්තිමත් නායකත්වයක් විදහා දැක්වූ මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායක මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. ඔහුගේ පුරෝගාමී මගපෙන්වීම යටතේ, “දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ දන්ත අධ්‍යාපනය සහ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය” (“Dental Education and Oral Health Promotion of the Faculty of Dental Sciences”) නම්වූ JICA ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අති නවීන සායනික හා පර්යේෂණ පහසුකම් ස්ථාපිතවීම සිදුවිය. ජපානයේ විවිධ උසස් විශ්ව විද්‍යාලවල ජපන් ශාස්ත්‍රඥයින් සමඟ ශාස්ත්‍රීය හුවමාරුව ශක්තිමත් කිරීම සඳහා මෙම අභිවර්ධනයන් ප්‍රධාන වේදිකාවක් විය.

අධ්‍යයන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා මහාචාර්ය දිසානායකයන්ගේ ඇති නොසැලෙන කැපවීම දන්ත වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙන් ඔබ්බට විහිදී ඇති බව, JICA හි තුන්වන ලෝකයේ රටවල් සදහා වන පුහුණු වැඩසටහන් (Third Country Training Programmes) පැවැත්වීම සහ කෘෂිකර්මය, ඉංජිනේරු හා පාරිසරික අධ්‍යයන ඇතුළු විවිධ අන්තර් විෂය ක්ෂේත්‍රවල සහයෝගිතා පෝෂණය කිරීම සඳහා ඔහු විසින් නායකත්වය දීම තුළින් පෙනී යයි. ඔහුගේ ප්‍රයත්නයන් හි ප්‍රතිඵල වශයෙන් ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් ශක්තිමත්වීම තුළින් ජපන් විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ පර්යේෂණ මුලපිරීම් සහ හවුල්කාරිත්ව අවබෝධතා ගිවිසුම් රාශියකට පහසුකම් සැලසීම සිදුවිය.

උත්සවය අතරතුර, තානාපති මිසුකොෂි මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මහාචාර්ය දිසානායකයන් විසින් දක්වන් ලද විශිෂ්ට ශාස්ත්‍රීය නිපුණත්වය හා දැඩි කැපවීම අගයමින් ඔහුට හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. දෙරට අතර පවතින සදාකාලික සබඳතාවය පෝෂණය කිරීම හා සාරවත් කිරීම සඳහා මහාචාර්ය දිසානායක මහතා ඉදිරියේදීද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි තානාපති මිසුකොෂි මහතා සිය අවංක බලාපොරොත්තුව පල කළේය.
මෙම සම්මානය මහාචාර්ය දිසානායක මහතාගේ විශිෂ්ඨ සේවාව වෙනුවෙන් පිරිනමන ගෞරවයක් පමණක් නොව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සමෘද්ධිමත් සබඳතාවයන් පෝෂණය කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳව වන සාක්ෂියක් ද වේ.