සාර්ථක සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා බොන් ඔදොරි උත්සවය 2023 කලඑළි බසියි
2023/11/13

ජාතික තරුණ සේවා සභාව, ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association (JSA)] සහ ජපාන තානාපති කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද 2023 බොන් ඔදොරි උත්සවය මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා පරිශයේදී විචිත්‍රවත්ව පවත්වන්නට යෙදුණි.

මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් පිළිගැනීමේ සහ ඔවුනට සමුදීමේ ජපන් සම්ප්‍රදාය තුළ මුල් බැස ඇති බොන් ඔදොරි උත්සවය ජපන් සංස්කෘතික උරුමයේ මූලිකාංගයකි. මෙම වසරේදී පවත්වන්නට යෙදුණු උත්සවයේදී ජපන් සහ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන්හි සාරය කැටිකොට ගත් අංගයන් ගණනාවක් දක්නට ලැබුණි.

තෝකියො ඔන්දො සහ තන්කො බුෂි යන ජනප්‍රිය බොන් ඔදොරි ගීත සඳහා කොළඹ ජපන් පාසලේ සහ ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ [Lanka Nippon BizTech Institute (LNBTI)] සිසුන් විසින් අලංකාර ලෙස ඉදිරිපත් කරන ලද සිත් ඇදගන්නා බොන් ඔදොරි නර්තනයන් විශේෂයෙන් කැපී පෙණුනි. ජපන් පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සිත් ඇදගන්නා ජපන් නර්තනය (යොසකොඉ සොරන්) හා සාම්ප්‍රදායික බෙර (වදඉකො) වැයුමේ රිද්මය සහ ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු වදඉකො, නැටුම් හා කරාතේ සංදර්ශණය මෙම සංස්කෘතික උත්සවය තව තවත් වර්ණවත් කරන ලදී.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහ ජපන් සහයෝගිතා සංගමයේ සභාපති හොත්තා මිකිනග යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගිත්වය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් උත්සවයට සම්භාවනීයත්වයක් එක් කළේය.

පැවත් අයහපත් කාලගුණයද නොතකා ශ්‍රී ලාංකිකයින් හා ජපන් ජාතිකයින් විශාල පිරිසක් මෙවර බොන් ඔදොරි උත්සවයට සහභාගී වූ අතර, එය පෙර වසරට වඩා සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කළේය. සහභාගී වූ පිරිස නර්තනයන් සඳහා සහභාගි වෙමින්, ප්‍රසංගයන් රසවිඳිමින්, Nihonbashi, Ginza Hohsen, Kuuraku, The Sushi Bar, Samurai, Shikisen, Yamato වැනි ප්‍රකට ජපන් අවන්හල්, ජාතික තරුණසේවා සභාවේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහ තවත් විවිධ ශ්‍රී ලාංකීය අවන්හල් විසින් පිළියෙල කරන ලද ප්‍රණීත ජපන් ආහාර පානාදියෙන් සන්තර්පණය වූහ.

2023 බොන් ඔදොරි උත්සවයේ සාර්ථකත්වය තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික හුවමාරුව, අන්‍යෝන්‍ය අවබෝධය සහ අගය කිරීම ප්‍රවර්ධනය විය. මෙම සංස්කෘතික උත්සවය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් සහභාගී වූ සියල්ලන්ටම හා අනුග්‍රාහකයින් හට සංවිධායක මඬුල්ල විසින් සිය කෘතඥතාව පළකර සිටී.