ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW ) සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතා පරීක්ෂණය ආරම්භ වී තිබේ.

2023/12/1
දෙසැම්බර් මස 01 වැනි දින, තානාපති මිසුකෝෂි මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ඒම් හිල්මි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ ජපානයේ සේවය කිරීමට, නිශ්චිත පුහුණු කම්කරුවන් (Specified Skilled Worker /SSW). සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් අද දින සිට ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දී ඇති බවය මේ අනුව පසුගිය වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල නිපුණතා පරීක්ෂණ සමඟ එක්ව ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.
 


 
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට මෙය ඉතාමත් හොද අවස්ථාවක් වන බැවින් ජපානයේ සේවය කිරීමට හැකි දක්ෂ ශ්‍රී ලාංකිකයන් මෙම නව අවස්ථා‌වෙන් උපරිම ප්‍රයෝජනය ගනු ඇතැයි තානාපති මිසුකෝෂි මහතා සිය ප්‍රකාශයේ දී තම අවංක බලාපොරොත්තුව පළ කළේය..පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ SSW සඳහා වූ පරීක්ෂණය ආරම්භයත් සමඟ ජපන් භාෂාව ඉගෙනීමට ඇති උනන්දුව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පිළිඹදව ඔහු අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයට සහය දැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ද පැහැදිලි කළේය. තවද ශ්‍රී ලංකාවේ ජනතාවට සහය වීමට සහ ශ්‍රී ලංකාව සමඟ ජපානයේ ඇති දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව සහය ලබාදීමට ජපන් රජයේ ඇති දැඩි කැපවීම ද ඔහු මෙහිදී යළිත් අවධාරණය කළේය.


 
 
මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වීමට හා ඒ් පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර SSW සඳහා පරීක්ෂණ පවත්වන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසෙන්න. https://www.prometric-jp.com/en/ssw/