ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු පළාතට සිය සහය සපයයි

2024/1/24

2024 ජනවාරි 23 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදයකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වන ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව, සමාජ සංහිඳියාව සඳහා ඩෙල්වොන් සහය, ඩෑෂ් (DASH) ආයතනයේ  වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සමඟ අත්සන් කරන ලදී.
 
උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා ජපන් රජය විසින් ඩෑෂ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 364,963 (දළ වශයෙන් රුපියල් මිලියන 116) ලබා දී ඇත.

 

විශේෂයෙන්ම 2027 වන විට ශ්‍රී ලංකාව  බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ලබා දීමෙන්, පශ්චාත්-ගැටුම් ප්‍රතිසාධනය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තුළ ජපානයේ ශ්‍රී ලංකාව සමඟ ඇති ස්ථාවර හවුල්කාරිත්වය තානාපති මිසුකොෂි මහතා මෙහිදී අවධාරණය කළේය.
 

මෙම ප්‍රදානය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ;
 
“ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහනේ දිගුකාලීන මිතුරෙකු සහ ප්‍රධානතම පරිත්‍යාගශීලියෙකු වන ජපානය, 2010 සිට අඛණ්ඩව ඩෑෂ් ආයතනය සඳහා අරමුදල් සපයා ඇත. මෙම සහයෝගය දහස් ගණනකට වඩාත් ආරක්ෂිතව ජීවත් වීමට හැකියාව ඇති කරන අතර මේ වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාගෙන, බිම් බෝම්බ ගැටළුව ඉක්මනින් තුරන් කිරීමට අපි අපේක්ෂා කරමු. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ඩෑෂ් වෙත ජපානයේ ආධාර ස්ථිරව පවතින අතර, ඒ මගින් බොහෝ දෙනෙකුට සෘජුව සහ වක්‍රව ප්‍රතිලාභ ලැබේ. ජපානය සහ වෙනත් පාර්ෂවකරැවන් විසින් අරමුදල් සපයනු ලබන මෙම වැඩසටහන, ගැටුම්වලින් පීඩාවට පත් තරුණයන් එක්සත් කරමින්, සාමය සහ සංහිදියාව වර්ධනය කරයි. මේ සම්බන්දයෙන් අපි ජපානයට බෙහෙවින් කෘතඥ වෙනවා.
 

ජපානය GGP යෝජනා ක්‍රමය යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හතරටම අඛණ්ඩව සහය ලබා දී ඇති අතර, එය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ වඩාත්ම ත්‍යාගශීලී සහ දීර්ඝතම ආධාර සපයන්නන්ගෙන් එකක් බවට ඔවුන්ව පත් කරයි. මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ජපානය ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 45 ඉක්මවයි.
 
ඩෑෂ් හි මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වෙසෙන 6,000 කට වැඩි පිරිසකගේ නැවත පදිංචි කිරීම් කටයුතු සහ ජීවනෝපාය ආධාර සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.