දර්ශන් මුනිදාස මහතා 2023 සරත් සෘතුවේ "The Order of the Rising Sun, Gold and Silver Rays" සම්මානයෙන් පිදූම් ලබයි

2024/1/30
2024 ජනවාරි 30 වන දින ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ජපන් ආහාර ප්‍රවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් "නිහොන්බෂි” ("Nihonbashi") අවන්හලේ ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරු දර්ශන් මුනිදාස මහතා වෙත "The Order of the Rising Sun, Gold and Silver Rays" සම්මානය ප්‍රදානය කරන ලදී.


දර්ශන් මුනිදාස මහතා 1995 දී ඔහුගේ සුප්‍රසිද්ධ ජපන් අවන්හලක් වන "නිහොන්බෂි" ආරම්භ කළ දා සිට ශ්‍රී ලාංකීය උරුවට ගැලපෙන ලෙස ජපන් ආහාර  විද්‍යාවේ සූක්ෂ්මතාවයන් හඳුන්වා දීමේ මගපෙන්වන්නෙකු විය. උසස්ම තත්ත්වයේ ජපන් අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඔහු දක්වන කැපවීම සහ සාම්ප්‍රදායික ජපන් සූපශාස්ත්‍ර ශිල්පීය ක්‍රම ආරක්ෂා කිරීමට ඇති කැපවීම තුළින් මුනිදාස මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව තවදුරටත් වර්ධනය කරමින් අනුග්‍රාහකයින් සඳහා භෝජන අත්දැකීම ඉහළ නංවා ඇත.


තානාපති මිසුකොෂි මැතිතුමා, මුනිදාස මහතා ජපන් අවන්හලක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, යුනෙස්කෝවේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පිළිගත් "washoku" ඇතුළු ජපන් ආහාර සහ සංස්කෘතිය අවබෝධ කර ගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා දීර්ඝකාලීන දායකත්වය ලබා දීම පිළිබඳව ද ප්‍රශංසා කළේය. මීට අමතරව, මෑත මුලපිරීම්වල කොටසක් ලෙස, ශ්‍රී ලාංකීය උත්සව නරඹන්නන් බොහෝ දෙනෙකුට ජපන් ආහාර අත්විඳීමට අවස්ථාවක්  සපයමින් වසර දෙකක් අඛණ්ඩව මහරගම පැවති ජපානයේ සංස්කෘතික උත්සවයක් වන Bon Odori උත්සවයේදී සම්ප්‍රදායික ගෙදර පිසූ ජපන් කෑම වර්ග පිරිනැමීමට මුනිදාස මහතා ගත් උත්සාහය තානාපති මිසුකොෂි මැතිතුමා මෙහිදී තවදුරටත් ඉස්මතු කළේය.
 
"The Order of the Rising Sun" සම්මානය, ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින්ට ජපානයේ අධිරාජයා විසින් පිරිනමනු ලැබේ.
 
මෙම සුවිශේෂී අවස්ථාවත් සමගම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.