"පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරමින් රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ජපානය විසින් ජපන් යෙන් බිලියන 1.23 ක ආධාර ප්‍රදාන සපයයි

2024/2/14

2024 පෙබරවාරි මස 14 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒම්. සිරිවර්ධන මහතා, රෝහල්වල බලශක්ති සැපයුම් දුර්වලතා වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් බිලියන 1.23ක් ලබා දීම සඳහා හුවමාරු සටහනකට අත්සන් තැබූහ. මෙම අවස්ථාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී ආචාර්ය ටනාකා අකිහිතෝ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ද සහභාගී විය.


මෙම ප්‍රදානය මගින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන ආයතනවල කාබන් විමෝචනය අඩු කිරීම සහ බලශක්ති පිරිවැය මත වූ මූල්‍යමය බර ලිහිල් කිරීම අරමුණු කර ඇත. මෙම ආධාරයත් සමඟ, එම රෝහල් වල සූර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම් සම්පූර්ණ වන අතර, විශ්වාසදායක විදුලි සැපයුමක් සහතික කිරීම සහ 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් 70% කට වඩා වැඩි විදුලිබල ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්දයෙන් වන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය දායක වේ.
 
ඉන්ධන ආධාරයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ද දායක වේ. මෙහිදී සූර්ය බලශක්ති පහසුකම් හඳුන්වාදීමේ ප්‍රධානතම අරමුණ වන්නේ සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට හදිසි සහ බලාපොරොත්තු රහිත දුෂ්කර අවස්ථාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ එමගින් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපැවැත්මට දායක වීමයි. සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ තිරසාර බලශක්ති විසඳුම් රට තුළ ප්‍රවර්ධනය කිරීම මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අවධාරණය කරමින් ඒ් සඳහා ඇති සහයෝගීතාව සහ දැඩි කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.


ජපන් රජය සූර්ය බලශක්ති පහසුකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහ හරිත අනාගතයක් පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වේ.