ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් ” සම්මානයෙන් පිදුම් ලබයි
2024/3/13

Ikebana International Sri Lanka Chapter 262 හි සභාපතිනි ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව තුළ ජපන් ඉකෙබානා සංස්කෘතිය ප්‍රවර්ධනය පිණිස දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් 2024 මාර්තු මස 12 වන දින “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේස් ” (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානය එතුමිය වෙත ප්‍රදානය කරන්නට යෙදුණි.

Ikebana International Sri Lanka Chapter 262 හි වත්මන් සභාපතිනිය වන ශිරෝමි සූසෙයිපිල්ලේ මහත්මිය, වර්ෂ 1983දී ඉකෙබානා මල් කලාවේ ʻසොගෙත්සුʼ ශෛලියෙන් සිය ගමන ආරම්භ කරන්නට යෙදුණාය. 2001 වසරේදී සූසෙයිපිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ ෂි-එන් ඉකෙබානා සහ පුෂ්ප කලා සංගමයට (Shi-en Ikebana and Floral Art Society of Sri Lanka) සම්බන්ධ වූ අතර, එහි සභාපතිත්වය ඇතුළු විවිධ තනතුරු දැරුවාය. වර්ෂ 2007දී ශ්‍රී ලංකාවේ ෂි-එන් ඉකෙබානා සහ පුෂ්ප කලා සංගමයේ සාමාජිකයින් විසින් Ikebana International Sri Lanka Chapter 262 පිහිටුවන ලද අතර, එම සංගමය පිහිටුවීමේදී සූසෙයිපිල්ලේ මහත්මිය මූලිකත්වය ගෙන ක්‍රියා කළාය.

ශ්‍රී ලංකාව තුළ ජපන් ඉකෙබානා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා දශකයකට වැඩි කාලයක් තිස්සේ එහි ශිල්පීය ක්‍රම ඉගැන්වීම තුළින්, රට තුළ ඉකෙබානා කුසලතාවයේ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා සූසෙයිපිල්ලේ මහත්මිය විසින් වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව තානාපති මිසුකොෂි මහතා සිය ප්‍රශංසාව පළ කළේය. එතුමිය ජාත්‍යන්තර ඉකෙබානා සම්මන්ත්‍රණවලට පවා ක්‍රියාකාරීව සහභාගීවෙමින් ලොව පුරා සිය හැකියාව ප්‍රදර්ශනය කරමින් සිය කැපවීම රටේ දේශසීමාවෙන් ඔබ්බට විහිදුවා ඇති බැව් තානාපති මිසුකොෂි මහතා අවධාරණය කළේය.

“ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” සම්මානය, ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින්ට ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින් පිරිනමනු ලැබේ.
මෙම වැදගත් අවස්ථාව හරහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.