තේ වතු ආශ්‍රිතව ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපනයට ජපානයේ සහාය

2024/3/15
2024 මාර්තු මස 15 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන [Grassroots Human Security Projects (GGP)]" වැඩසටහන යටතේ ඇඩ්වෙන්ටිස්ට් සංවර්ධන සහ සහන ඒජන්සියේ [Adventist Development and Relief Agency (ADRA)] ව්‍යාපෘතියේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තුව, ADRA හී මෙරට අධ්‍යක්ෂ මැතිව් විටී මහතා සමඟ අත්සන් කරන ලදී.


නුවරඑළිය මින්නා දෙමළ විද්‍යාලයේ ප්‍රාථමික පාසල් ගොඩනැගිලි වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය විසින් ADRA වෙත GGP හරහා ඇමරිකානු ඩොලර් 70,916 ක සම්පූර්ණ මුදලක් ලබා දී ඇත.
 
ජපන් රජය GGP වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ව්‍යාපෘති 19ක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රධාන වශයෙන් තේ වතු ආශ්‍රිතව ජීවත් වන අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සුබසාධනය සහ මානව ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙහිදී අරමුණු කර ගෙන ඇත.
 

මෙම ව්‍යාපෘති හරහා රෝහල් වැඩිදියුණු කිරීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ජලය, සනීපාරක්ෂාව, සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම සහ ජංගම පුස්තකාල පිහිටුවීම වැනි වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කෙරේ.
 
තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය ​​සහ ස්ථාවරත්වය ඇති කිරීමට සහාය වීමට ජපානයේ ඇති කැපවීම යලිත් තහවුරු කරමින් පරිපූර්ණ ජීවිතයක් ලබා ගැනීම සඳහා මූලික අධ්‍යාපනයේ ඇති තීරණාත්මක කාර්යභාරය මෙහිදී අවධාරණය කළේය.


මෙම ප්‍රදානය ලැබීම පිළිබඳව අදහස් දැක්වූ මැතිව් විටී මහතා මෙසේ පැවසීය:

“1990 දශකයේ ඉදිකරන ලද මෙම පාසලේ දැනට සිසුන් 107 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තේ වතු කම්කරුවන්ගේ දරුවෝ වෙති. මෙම ව්‍යාපෘතිය මගින් දැනට පවතින පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, නව පන්ති කාමරයක් ඉදිකිරීම සහ නව පොත්පත්, ගෘහ භාණ්ඩ සහ පුස්තකාල කළමනාකරණ පද්ධතියකින් පවත්නා පුස්තකාලය සන්නද්ධ කිරීම සිදු කෙරේ.
 
සුරක්ෂිත සහ ප්‍රමාණවත් ඉගෙනුම් පරිසරයක් සැපයීම සහතික කිරීම සඳහා පාසල ප්‍රතිසංස්කරණය කිරීම සහ පුළුල් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. මෙහිදී අපගේ මූලික පරමාර්ථය වන්නේ ප්‍රජාවේ සියලුම සිසුන් සඳහා ආරක්ෂිත සහ ප්‍රමාණවත් පාසල් පහසුකම් සැපයීම සහ පාසලේදී ඔවුන්ගේ යහපැවැත්ම සහ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමයි.


මෙම පාසල් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සිදුකිරීමට ජපන් තානාපති කාර්යාලය දක්වන ත්‍යාගශීලීභාවය පිළිබඳව ADRA ස්තුතිය පුදකර සිටියි.”