ජපානයෙන් නව ව්‍යාපෘති 3ක් සඳහා ආධාර

2024/3/18

ජපානය මගින් ලබාදෙන ආධාර ව්‍යාපෘති 3ක් සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරීම 2024 මාර්තු මස 18  දින‍‍, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී, පළමු ව්‍යාපෘතිය සඳහා වන ජපන් යෙන්  මිලියන 200 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 416)ක් උතුරු හා නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ආරක්ෂාව ඉලක්ක කර ඇති අතර, දෙවන  ව්‍යාපෘතිය සඳහා වන ජපන් යෙන්  මිලියන 404 ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 842 ක්) උතුරු පළාතේ කාන්තා සහාය සඳහා සැලසුම් කර ඇත. තවද, තෙවන ව්‍යාපෘතිය සඳහා වන ජපන් යෙන්  බිලියන 1 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2) ක ප්‍රදානය වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන සමුද්‍රීය තෙල් කාන්දුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා වෙන්කෙරේ.


(1) උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා සහාය වීම

‌‌මේ යටතේ ධීවර අමාත්‍යාංශය හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වලට ධීවරයන්ගේ ආරක්ෂාවට අදාළ උපකරණ ලබාදීමට නියමිතය. ජපානයේ නිෂ්පාදිත ජීවිතාරක්ෂක සහ මුදාගැනීමේ යාත්‍රා සැපයීම මගින් සමුද්‍රීය අනතුරුවලට ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම සහ එම පළාත්වල ධීවරයින්ගේ ආරක්ෂාව සහ දිවි ගලවා ගැනීමේ අනුපාතය ඉහළ නැංවීම අරමුණු කෙරේ. එමෙන්ම, ධීවර පරිසරවල ආරක්ෂාව වැඩි දියුණු කිරීම මගින් ධීවර සංවර්ධන කටයුතු ප්‍රර්ධනය කිරීම මෙමගින් අපේක්ෂා කෙ‌‌‌‌‌‌රේ.

(2) උතුරු පළාතේ කාන්තාවන් සඳහා සහාය

උතුරු පළාතේ මාතෘ හා ළමා සෞඛ්‍ය නැංවීම සහ කාන්තාවන්ගේ ධාරිතා සංවර්ධනය තුළින් කාන්තා ජීවනෝපායන් දියුණු කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා මාතෘ හා ළමා සෞඛ්‍ය උපකරණ ඇතුළු කාන්තා සහායට අදාළ උපකරණ, සහ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෘත්තීය පුහුණුව සඳහා අවශ්‍ය මහන මැෂින් ලබා දීම සිදුකෙරේ. මෙම ආධාර කාන්තාවන්ගේ ආරක්ෂාව මෙන්ම ආර්ථික සවිබල ගැන්වීම සඳහාද දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(3) තෙල් කාන්දුවීම් සඳහා ප්‍රතිචාර දැක්වීම සහ කළමනාකරණ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරලාරක්ෂක දෙපාර්ත්තමේන්තුවට සහාය වීම

සමුද්‍රීය තෙල් කාන්දුවීම් වලට ප්‍රතිචාර දැක්වීමට අදාළ උපකරණ (තෙල් පැතිරීම වැලැක්වීමේ සහ ඉවත්කිරීමේ කට්ටල ආදිය) ශ්‍රී ලංකා වෙරලාරක්ෂක දෙපාර්ත්තමේන්තුව වෙත ලබා දෙනු ඇත. තෙල් කාන්දුවීමේ අනතුරු වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම,හානිය පැතිරීම අවමකිරීම සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම මෙහිදී අරමුණු කෙරේ.


ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීමට කැපවී සිටින අතර මෙම ප්‍රදානයන් හරහා, නිදහස් හා විවෘත සමුද්‍රීය සාමයක් ගොඩනැගීම සහ පවත්වාගෙන යාම සඳහා වන ජපාන රජයේ කැපවීම පිළිබිඹු කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව,කාන්තා සවිබල ගැන්වීම සහ සමුද්‍රීය ආරක්ෂාව තහවරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට සහාය වීම මෙමගින් අරමුණු කෙරේ.