IOM, ILO, සහ ජපාන රජය සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීමටත්, ආපසු පැමිණෙන සංක්‍රමණිකයින් සහ විදේශගතවීමට අපේක්ෂා කරන පුද්ගලයින් හා මිනිස් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයින් ප්‍රතිසංකලනය කිරීමට මෙන්ම, ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමටත් උපකාර කිරීම සඳහා අත්වැල් බැඳගනී

2024/3/20
කොළඹ, ශ්‍රී ලංකාව - ජපාන රජයෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6 ක අරමුදල් ආධාරය යටතේ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් මාස 12 ක “UPLIFT” ව්‍යාපෘතිය දියත් කරන ලදී. මෙම මුලපිරීම තිරසාර සමාජ ආර්ථික ප්‍රතිසංකලනය සඳහා මෙන්ම ආපසු පැමිණෙන සහ විදේශ ගතවීමට අපේක්ෂිත සංක්‍රමණික සේවකයින්ගේ සහ මිනිස් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයන්ගේද කුසලතා සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා දායක වනු ඇත.

සමාජ ආර්ථික සන්දර්භවල ඇති වන සීඝ්‍ර වෙනස්කම් සංක්‍රමණික සේවකයන් අවිධිමත් සංක්‍රමණයට යොමුවීම කෙරෙහිද, මිනිස් වෙළෙඳාමට ඔවුන් හසුවීමට ඇති අවදානම ද තීව්‍ර කර තිබේ . සුරක්ෂිත සංක්‍රමණ මාර්ග පිළිබඳ දැනුවත්භාවය අවම මට්ටමකින් පැවතීම සහ පවතින ජාතික සුදුසුකම් රාමු ද මෙයට හේතු සාධක වී තිබේ. තවද සිය රටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන සහ ආපසු පැමිණෙන බොහෝ සංක්‍රමණික සේවකයින් කුසලතා සහ සුදුසුකම් ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙන අතර, මෙය දේශීය හා විදේශීය වශයෙන් සුනිසි රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවට බාධා පමුණුවයි. මෙම සංදර්භය තුළ අවිධිමත් සංක්‍රමණ සහ මිනිස් වෙළෙඳාමේ අවදානම අවම කිරීම, කුසලතා අත්පත් කර ගැනීම සහ එයට පිළිගැනීමක් ලබාගැනීම, සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම සඳහා ආපසු පැමිණෙන සංක්‍රමණිකයින් තිරසාර ලෙස ප්‍රතිසංකලනය කිරීම යනාදිය සඳහා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රයත්නයන්ට සහාය දැක්වීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ.

UPLIFT ව්‍යාපෘතිය ප්‍රධාන ප්‍රතිඵල  හතරකින් සමන්විත වේ : (1.) තිරසාර ව්‍යවසායන් සහ /හෝ ඔරොත්තු දෙන ජීවනෝපාය අවස්ථා සඳහා අවශ්‍ය වන වැඩි දියුණු කළ ප්‍රවේශය හරහා ආපසු පැමිණෙන අයගේ සහ අනෙකුත් ග්‍රාමීය ප්‍රජාවන්ගේ අවදානම්පාත්‍රතාවය අවම කිරීම. ( 2.) සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණයට අදාළ තොරතුරු, අවශ්‍ය තාක්ෂණික සහාය සහ මෙවලම් /යටිතල පහසුකම් උපයෝගී  කොටගෙන අවිධිමත් සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාමේ අවදානම්පාත්‍රතාවය අවම කිරීම ( 3.) වැඩිදියුණු කළ නිපුණතා සංවර්ධන මැදිහත්වීම් හරහා තරුණ තරුණියන් ඇතුළු කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සේවා නියුක්තිය සඳහා වූ ප්‍රවේශය (දේශීය හා විදේශීය යන දෙඅංශයෙන්ම) වැඩි කිරීම. (4.) ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනය සහ තීරණ ගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ දත්ත ශක්තිමත් කිරීම.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම ( 2023-2027) සහ මිනිස් වෙළෙඳාම නිරීක්ෂණය කිරීම සහ මැඩලීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2021-2025) වැනි ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා වලට අනුකූල වේ.

"UPLIFT" ව්‍යාපෘතිය 2024 මාර්තු 20 වන දින ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කොතරො කත්සුකි මහතා, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ප්‍රධානී, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂිකා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල් කුලතංග, ජාතික බුද්ධි අංශ ප්‍රධානී - ආරක්ෂක අමාත්‍යාංශය (මිනිස් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය නියෝජනය කරමින්) සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී.

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කොතරො කත්සුකි මහතා ප්‍රකාශ කළේ, “කොවිඩි - 19 වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත් අවස්ථාවේ සිට ජපානය ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය සඳහා වන කටයුතුවල නිරතව සිටී. මෙකී සංක්‍රමණිකයින් සෑම කෙනෙකුම පාහේ විදේශයන්හි සිට වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජයට දායක විය හැකි වැදගත් සම්පතක් මෙන්ම ක්‍රියාකාරිකයින් ලෙසද ඔවුන්ගේ දායකත්වය සපයති. ශ්‍රී ලංකාවට වැඩිම ආදායමක් ලැබෙන මූලාශ්‍රයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ බව මට දැනගන්නට ලැබුණි. මෙම සංක්‍රමණිකයින් නීති විරෝධී මිනිස් වළඳාමෙන්ද රැකගනිමින් ඔවුන්ගේ සුරක්ෂිත සංක්‍රමණයට සහාය වීම සඳහා ජපානය කැමැත්තෙන් පසුවේ. මෙය දක්ෂ ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ නිපුණතා භාවිතා කරමින් ජපානයේදී දියුණු විය හැකි අපගේ විශේෂිත කුසලතා සේවක වැඩසටහන ද ප්‍රවර්ධනය කරනු ඇතැයි මට හැඟී යයි.”

“ශ්‍රී ලංකාවේ රැකියා සඳහා සංක්‍රමණය වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රිායාකාරී සැලැස්ම මෙන්ම මිනිස් වෙළෙඳාම නිරීක්ෂණය කිරීම සහ ඒවා මැඩලීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම යනාදියෙ හි දක්වා ඇති කරුණුවලට සමපාත වෙමින් මෙම ව්‍යාපෘතිය ජාතික ප්‍රමුඛතා වලට අනුකූලතාවයක් දක්වයි . සුරක්ෂිත සහ විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම, අවදානම් අවස්ථාවන්හිදී ආපසු පැමිණෙන තැනැත්තන්ට සහ ප්‍රජාවන්ට සහාය වීම සහ මිනිස් වෙළෙඳාම සහ ජාවාරම අවම කිරීම යනාදිය සඳහා වන මෙම වැදගත් මුලපිරීම සඳහා ජපන් රජයෙන් ලැබෙන කාලෝචි සහයෝගයට අපේ කෘතඥතාවය පළ කර සිටිමු ”, යැයි ශ්‍රී ලංකාවෙහි සංක්‍රමණය සඳහා වන ජාතයන්තර සංවිධානයේ ප්‍රධානී සරත් ධාෂ් මහතා පැවසීය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය - සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින්ද ක්‍රියාත්මක කරන UPLIFT ව්‍යාපෘතිය මගින් සීඝ්‍රයෙන් වෙනස් වන සංක්‍රමණික සංදර්භයට ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කාර්යාලය ආවරණය කරන අධ්‍යක්ෂිකා ජොනී සිම්ප්සන් මහත්මිය සඳහන් කළාය. ජාතික කුසලතා ප්‍රවර්ධනය කිරීම සඳහා වන යටිතල පහසුකම් සහ සාක්ෂි මත පදනම් වූ දත්ත පද්ධති ශක්තිමත් කිරීම වඩාත් ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනයකට මග පාදයි. ප්‍රධාන අංශ අරභයා ලබාදෙනු ලබන පුහුණුව, විදේශගත වීමට අපේක්ෂාවෙන් පසුවන සහ ආපසු පැමිණෙන සංක්‍රමණික සේවකයින් නිවැරදි කුසලතා සහ තොරතුරු සමඟ සන්නද්ධ කිරීම යනාදි කරුණු රැකියා ලබා ගැනීම සහ සුරක්ෂිත සංක්‍රමණ මාර්ග වෙත ප්‍රවේශ වීම සඳහා ඉතා වැදගත් වේ. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුනිසි රැකියා අවස්ථා වර්ධනය කර ගැනීම සඳහා ජපන් රජයෙන් ලැබෙන නොමසුරු සහය අපි අගය කරමු.”