කෝසල රෝහණ වික්‍රමනායක මහතා සහ අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” සම්මානයෙන් පිදුම් ලබයි

2024/4/29
2024 අප්‍රේල් 29 වන දින, ජපාන රජය විසින් “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” (“The Order of the Rising Sun”) සම්මානලාභීන්ගේ නම් ප්‍රකාශයට පත්කරන ලදී. ජපාන-ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින්,  මෙම වසරේ වසන්ත ඍතුවේ පිරිනැමීම සඳහා, ඉහළ පිළිගැනීමක් ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙක් මෙම ගෞරවනීය සම්මානයට පාත්‍ර වී ඇත. එම විස්තර පහතින් දැක්වේ.


කෝසල රෝහණ වික්‍රමනායක මහතා
ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට් (The Order of the Rising Sun, Gold Rays with Rosette)
ලංකා ජපන් මිත්‍රත්ව සංගමයේ හිටපු සභාපති
ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපති
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආර්ථික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට දායක විය
 
කෝසල රෝහණ වික්‍රමනායක මහතා ජපානයට ඉමහත්  සහයක් දක්වා ඇති අතර, ලංකා ජපන් මිත්‍රත්ව සංගමයේ සාමාජිකයකු ලෙස ජපානය සහ ශ්‍රී ලංකාව අතර, විශේෂයෙන්ම එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2011-2012 කාලය තුළ, මිත්‍ර සබඳතා ගැඹුරු කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇත.
 
වික්‍රමනායක මහතා සිය පුළුල් ව්‍යාපාරික පළපුරුද්ද සමඟින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා මෝටර් රථ ආනයනය කරන සමාගමක් වන 'කෝසල ඒජන්සීස්' හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් මෙන්ම, එවැනි ව්‍යාපාරික අත්දැකීම් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා පුළුල් කිරීමට වඩාත් හිතකර ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස පිහිටුවන ලද සංසදයක් වන ශ්‍රී ලංකා-ජපාන ආර්ථික කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද විශාල දායකත්වයක් ලබා දී ඇත. ජපන් සමාගම් සහ ව්‍යාපාර පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වික්‍රමනායක මහතා තම අත්දැකීම් මත ජපන් සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ සිය අඩිතාලම පිහිටුවා ගැනීමටත්, ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමඟ එක්ව සමෘද්ධිමත් වීමටත් අවශ්‍ය උත්ප්‍රේරණය සැපයූ අතර, එය ශ්‍රී ලංකාව තුළ ජපානය පිළිබඳ උනන්දුව සහ අවබෝධය වැඩි කිරීමට ඉවහල් විය.


අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා
ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් රේය්ස් (The Order of the Rising Sun, Gold and Silver Rays)
ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමයේ [Japan Sri Lanka Technical & Cultural Association (JASTECA)] හිටපු සභාපති
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආර්ථික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට දායක විය
 
ජපාන ශ්‍රී ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංගමයේ [Japan Sri Lanka Technical & Cultural Association (JASTECA)] හිටපු සභාපති අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම පිණිස ජපන් කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කළේය. 1991 දී JASTECA සමඟ සම්බන්ධ වූ දා පටන්ම  එදිරිසිංහ මහතා 5S සහ කඉසෙන් (Kaizen) වැනි ජපන් කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාගැනීම සඳහා ජපානයේ පුහුණු වැඩසටහන්වල ක්‍රියාකාරීව නිරත වී ඇත. JASTECA හි සභාපති වශයෙන් 2013 සිට ඔහු ආයතනික සමාජ වගකීම [Corporate Social Responsibility (CSR)] තිරසාර සම්මාන සඳහා නව මාර්ගෝපදේශ නිර්මාණය කිරීම, ජපන් කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ ජපන් කළමනාකරණ පිළිවෙත් හඳුන්වාදීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 2014 සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහුගේ ප්‍රයත්නයන් ඇගයීමට ලක් වූ අතර, එහිදී රාජ්‍ය නායකයින් දෙදෙනාගේ ඒකාබද්ධ ප්‍රකාශයක් තුළින් JASTECA අගය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් කළමනාකරණ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේදී සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා එහි කාර්යභාරය ඉස්මතු කළේය. මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ ජපන් කළමනාකරණ භාවිතයන් පිළිබඳ දැනුවත්භාවය සහ විශ්වාසය වැඩි කිරීමට හේතු වී ඇති අතර, අවසාන වශයෙන්  ජපානය පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට දායක විය.
 
එමෙන්ම ව්‍යාපාරික ප්‍රමුඛයෙකු ලෙස අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා පුරෝගාමී ව්‍යාපාර ආකෘතියක් ද නිර්මාණය කර ඇති අතර, එය ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වලට සාධනීය ප්‍රතිඵල ගෙන දෙමින් ජපන් පාරිභෝගිකයින්ට භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමට සමත් විය.
 
තවද, කොළඹ පිහිටි ජපන් අවන්හලක් වන කුරකු හි සම හිමිකරු /අධ්‍යක්ෂවරයා ලෙස අතුල රොබට් ෆ්‍රැන්සිස් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාව තුළ ජපන් ආහාර සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. කොවිඩ්-19 වසංගතය අතරතුර අභියෝග මධ්‍යයේ වුවද,  එම ආපනශාලාව ශ්‍රී ලංකාවේ වෙසෙන ජපන් වැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලමින්, මෙරට පළමුවරට ජපන් ආහාර බෙදා හැරීමේ සේවාව හඳුන්වා දෙන ලදී. තවද, එම ආපනශාලාව වර්ෂ 2022 දී ජපාන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීම සඳහා උත්සවයන් සංවිධානය කරන ලද අතර, පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ජපන් ආහාරවල ආකර්ෂණය ප්‍රදර්ශනය කළේය.
 
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාවයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වික්‍රමනායක මහතා සහ එදිරිසිංහ මහතා විසින් කරන ලද විශිෂ්ට කැපවීම පිළිබඳ අවංක ප්‍රසාදය පළ කරමින් ජපන් තානාපති කාර්යාලය එම දෙපළ මෙම සම්මානයන්ට පාත්‍රවීම පිළිබඳව සිය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.