ජපාන - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ හමුව

2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය, මැයි මස 4වන දින ප.ව. 1.55ට පමණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු අලි සබ්රි මහතා හමුවූ අතර, මෙම හමුව පැයකට ආසන්න කාලයක් පැවැත්වීමට යෙදුණි. එම හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරනා පහතින් දැක්වේ.

හමුව ආරම්භයේදී විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අමාත්‍ය කමිකාවා මහත්මිය සාදරයෙන් පිළිගත් අතර, නෝටෝ අර්ධද්වීපයේ සිදුවූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය. අමාත්‍ය සබ්රි මහතා ජපානයෙන් මෙතෙක් ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට තමන් කැමැත්තෙන් සිටින බවද ප්‍රකාශ කළේය. නෝටෝ අර්ධද්වීපයේ භූමිකම්පාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය සබ්රිගේ මහතාගේ ශෝක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කමිකාවා මහත්මිය සිය කෘතඥතාව පළ කළ අතර, මෑත කාලීනව සිදුවූ ඉහළ මට්ටමේ සංචාර සංඛ්‍යාව ඉහළ යාම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු වන බවට වූ සාක්ෂියක් බව ප්‍රකාශ කළාය. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ශක්තිමත් කිරීමට සිය උපරිමයෙන් කටයුතු කරන බවයි.

අමාත්‍ය සබ්රි මහතා, ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ සංචාර දෙකද ඇතුළුව දෙරට අතර සිදුවෙමින් පවතින ඉහළ මට්ටමේ සංචාර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය පිළිබඳව සිය ප්‍රසාදය නැවතත් පළ කළේය. ණය ගැටළු විසඳීමට සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය අමාත්‍ය කමිකාවා මහත්මියගේ පැසසුමට ලක් විය. ඒ අතරම, නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම සහ විනිවිදභාවයෙන් හා සංසන්දනාත්මකව සියලුම ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ඇතිකිරීමට කටයුතු කිරීමේ වැදගත්කමද අමාත්‍ය කමිකාවා මහත්මිය අවධාරණය කළාය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කර ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය තහවුරු වූ පසු පවතින ව්‍යාපෘති සඳහා ලබාදෙන යෙන් ණය කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීමට ජපානයේ ඇති අභිප්‍රාය ද අමාත්‍ය කමිකාවා මෙහිදී දැනුම් දුන්නාය. අමාත්‍ය සබ්රි මහතා ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික තත්ත්වය පැහැදිලි කළ අතර, තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින නමුත්, විනිවිදභාවයෙන් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බව ප්‍රකාශ කළේය. පවතින ව්‍යාපෘති සඳහා යෙන් ණය කඩිනමින් නැවත ආරම්භ කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳව අමාත්‍ය සබ්රි මහතා සිය ප්‍රසාදය පළ කළේය.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දරන විවිධ ප්‍රයත්නයන් පිළිබඳව ප්‍රශංසාත්මකව කතාකළ අමාත්‍ය කමිකාවා මහත්මිය එම ප්‍රයත්නයන් සඳහා ජපානයේ ද සහය ලබාදෙන බව ප්‍රකාශ කළාය. විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මහතා, ජාතික සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් පැහැදිලි කළ අතර, ජපානයේ සහයෝගීතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුහුදු මංතීරුවල උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති වැදගත් හවුල්කරුවෙකු වන අතර, එය සාක්ෂාත් කර ගැනීමට මෙන්ම, සමස්ත ඉන්දු-ශාන්තිකර කලාපයේම වර්ධනය පිණිස ජපානය ඉන්දීය සාගර වටද්දර සමුළුවේ සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට කැමති බැව් අමාත්‍ය කමිකාවා මහත්මිය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමඟ සමුද්‍රීය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජපානය අපේක්ෂා කරන බවත්, ඒ අනුව සමුද්‍ර සිතියම් සැකසීම සඳහා සෝනාර් යන්ත්‍රයක් සහිත යාත්‍රාවක් ලබාදීමට ජපානය තීරණය කර ඇති බවත් අමාත්‍ය කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය. ඉන්දියන් සාගරයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව දායකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බැව් අමාත්‍ය සබ්රි මහතා ප්‍රකාශ කළේය.


(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

නෝටෝ අර්ධද්වීපයේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස මෙම හමුවේදී අමාත්‍ය කමිකාවා මහත්මිය විසින් විදේශ අමාත්‍ය සබ්රි මහතා වෙත ජපන් සාම්ප්‍රදායික ලාක්ෂා කැටයමින් අලංකාරවූ වජිමා-නුරි වර්ගයේ පෑනක් තිළිණ කළාය. මේ පිළිබඳව සිය කෘතඥතාවය පළකළ අමාත්‍ය සබ්රි මහතා විපතට පත් ප්‍රදේශවල ජනතාව ගැන ස්මරණය කරමින් මෙම පෑන භාවිතා කිරීමට තමන් අපේක්ෂා කරන බැව් ප්‍රකාශ කළේය.