ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා හා ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය අතර සුහද හමුව

2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අතර මැයි මස 4වන දින ප.ව. 3.25ට පමණ සුහද හමුවක් පවත්වන්නට යෙදුණු අතර , මෙම හමුව මිනිත්තු 30කට ආසන්න කාලයක් පැවැත්වීමට යෙදුණි. එම හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරනා පහතින් දැක්වේ.

හමුව ආරම්භයේදී අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අමාත්‍ය කමිකාවා මහත්මිය සාදරයෙන් පිළිගත් අතර, ජපානයෙන් මෙතෙක් ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකා රජය ණය ගැටළුවලට විසඳුම් ලබා දෙමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අමාත්‍ය කමිකාවා මහත්මිය ප්‍රශංසා කළාය. එවැනි උත්සාහයන් තුළින් ශ්‍රී ලංකාව නැවත වරක් සංවර්ධනය වනු ඇති බවටත්, එහිදී ජපානය උපරිම සහයෝගය ලබා දෙන බවටත් ඇය විශ්වාසය පළ කළාය.

නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම සහ විනිවිදභාවයෙන් හා සංසන්දනාත්මකව සියලුම ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ඇතිකිරීමට කටයුතු කිරීමේ වැදගත්කම අමාත්‍ය කමිකාවා මහත්මිය අවධාරණය කළාය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කර ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය තහවුරු වූ පසු පවතින ව්‍යාපෘති සඳහා ලබාදෙන යෙන් ණය කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීමට ජපානයේ ඇති අභිප්‍රාය ද අමාත්‍ය කමිකාවා මෙහිදී දැනුම් දුන්නාය. එමෙන්ම ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කරන ලෙසයි. අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා රජය විසින් දැනට ගෙන යන දේශීය ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් පැහැදිලි කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය පිළිබඳව නැවතත් අගය කළේය.

මෙහිදී දෙපාර්ශ්වයම ජනතාව අතර හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් අවංකව අදහස් හුවමාරු කරගනු ලැබූ අතර, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට එකඟ විය.


(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)

නෝටෝ අර්ධද්වීපයේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස මෙම හමුවේදී අමාත්‍ය කමිකාවා මහත්මිය විසින් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා වෙත ජපන් සාම්ප්‍රදායික ලාක්ෂා කැටයමින් අලංකාරවූ වජිමා-නුරි වර්ගයේ පෑනක් තිළිණ කළාය.