ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය අතර සුහද හමුව
2024/5/4

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යොකො මහත්මිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර මැයි මස 4වන දින ප.ව. 4.05ට පමණ සුහද හමුවක් පවත්වන්නට යෙදුණු අතර , මෙම හමුව මිනිත්තු 50කට ආසන්න කාලයක් පැවැත්වීමට යෙදුණි. එම හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කාරනා පහතින් දැක්වේ.
හමුව ආරම්භයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අමාත්‍ය කමිකාවා මහත්මිය සාදරයෙන් පිළිගනු ලැබුවේය. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කමිකාවා මහත්මිය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් දරන ලද අතීත ප්‍රයත්නයන් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර, ණය ගැටලු විසඳීමට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය ලබාදීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, ජපානය උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළාය.
ණය ගැටළු විසඳීමට සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය අමාත්‍ය කමිකාවා මහත්මියගේ පැසසුමට ලක් විය. ඒ අතරම, නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම සහ විනිවිදභාවයෙන් හා සංසන්දනාත්මකව සියලුම ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ඇතිකිරීමට කටයුතු කිරීමේ වැදගත්කමද ඇය විසින් අවධාරණය කළාය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කර ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ ශ්‍රී ලංකා රජයේ අභිප්‍රාය තහවුරු වූ පසු පවතින ව්‍යාපෘති සඳහා ලබාදෙන යෙන් ණය කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීමට ජපානයේ ඇති අභිප්‍රාය ද අමාත්‍ය කමිකාවා මෙහිදී දැනුම් දුන්නාය. ණය ගෙවීම් අත්හිටුවීමෙන් පසු ගතවූ වසර දෙක තුළ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් උත්සාහයන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය පිළිබදව ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් පැහැදිලි කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ජපානයේ දායකත්වය අගය කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා යළිත් අවධාරණය කළේය.
ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දරන විවිධ ප්‍රයත්නයන් පිළිබඳව ප්‍රශංසාත්මකව කතාකළ අමාත්‍ය කමිකාවා මහත්මිය එම ප්‍රයත්නයන් සඳහා ජපානයේ ද සහය ලබාදෙන බව ප්‍රකාශ කළාය.
තවද, න්‍යෂ්ටික නිරායුධකරණය සහ ප්‍රගුණනය නොකිරීම පිළිබඳව අමාත්‍ය කමිකාවා මහත්මිය අදහස් දැක්වූ අතර, ඇය සිය ධුරයට පත්වීමෙන් පසු කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව [Women, Peace and Security (WPS)] පිළිබඳ කටයුතු දැඩි ආශාවකින් ප්‍රවර්ධනය කරන බව ප්‍රකාශ කළ අතර, අනාගතයේදී මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය. කලාපීය ගැටුම්වල ගෝලීය බලපෑම ඇතුළු ගෝලීය ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශවය අවංකව අදහස් හුවමාරුකරගන්නා ලදී.

(ඡායාරූප අනුග්‍රහය: ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය)
නෝටෝ අර්ධද්වීපයේ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස මෙම හමුවේදී අමාත්‍ය කමිකාවා මහත්මිය විසින් ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙත ජපන් සාම්ප්‍රදායික ලාක්ෂා කැටයමින් අලංකාරවූ වජිමා-නුරි වර්ගයේ පෑනක් තිළිණ කළාය.