ජපානයේ වැඩ කිරීමට නව මාවතක් විවෘත වේ - නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් (SSW ) සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍ර නිපුණතා පරීක්ෂණය 2024 ජූලි මාසයේ ආරම්භ වේ

2024/5/29
නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන් සඳහා ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් 2024 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දෙන බව ජපන් තානාපති කාර්යාලය සතුටින් ප්‍රකාශ කරයි. 2022 වසරේ සිට ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර සේවා සහ කෘෂිකර්මාන්තයේ දැනට පවතින නිපුණතා පරීක්ෂණ මෙන්ම මෑතකදී එකතු කරන ලද ඉදිකිරීම්, ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ නවාතැන් කර්මාන්තය යන ක්ෂේත්‍ර සමඟින්, ගොඩනැගිලි පිරිසිදු කිරීම එකතු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දී ක්ෂේත්‍ර හතක් සඳහා කුසලතා පරීක්ෂණ සඳහා අයදුම් කල හැකිය.
 
ගොඩනැගිලි පිරිසිදු කිරීම යනු කාර්යාල, සාප්පු සංකීර්ණ සහ හෝටල් වැනි ගොඩනැගිලිවල ඇති අපිරිසිදු දෑ ඉවත් කිරීමයි. උදාහරණයකට හෝටල්වල පිවිසුම් ශාලාව, කොරිඩෝ, වැසිකිළි සහ බිම පිරිසිදු කිරීම සහ ඇඳන් සෑදීමේ කටයුතු වැනි ගොඩනැගිලි අභ්‍යන්තරයේ සනීපාරක්ෂක තත්ත්වයන් පවත්වා ගැනීමයි. මෙහිදී නිවාස පිරිසිදු කිරීම ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කාර්යයට ඇතුළත් නොවේ.
 
2024 වසරේ සිට වසර පහක කාලයක් තුළ විදේශීය ශ්‍රමිකයන් 37,000කට පමණ රැකියා අවස්ථා ලබා දීමට ඇස්තමේන්තු කර ඇති අතර, ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ජපානයේ සේවය කිරීමට කැමති දක්ෂ ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම නව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි ජපන් තානාපති කාර්යාලය අවංකවම බලාපොරොත්තු වේ. ජපන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය සහ සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙනු ඇත.
 
කුසලතා පරීක්ෂණය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර ජපන් ගොඩනැගිලි නඩත්තු සංගමයේ පහත වෙබ් අඩවියට පිවිසෙන්න. ගොඩනැගිලි පිරිසිදු කිරීම පිළිබඳ හැඳින්වීමේ වීඩියෝවක් (සිංහල, ඉංග්‍රීසි සහ ජපන් භාෂාවෙන් ඇත), පෙළපොත (සිංහල, ඉංග්‍රීසි සහ ජපන් භාෂාවලින් ඇත) සහ ප්‍රායෝගික විභාග වලට සූදානම් කිරීමේ වීඩියෝවක් ද එහි අඩංගු වේ.
 
https://www.j-bma.or.jp/examination/94334


- නිපුණතා පරීක්ෂණය සඳහා අයදුම් කිරීමේ කාලය ජුනි 5 (පෙ.ව. 6:30) සිට ජූනි 12 (ප.ව. 1:30) 2024 (ශ්‍රී ලංකා වේලාවෙන්) වේ.
- කුසලතා පරීක්ෂණය 2024 ජූලි 16 සිට 18 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී (SLFI) පැවැත්වේ.
- විභාග ගාස්තුව රු. 5,000 කි. 
- කුසලතා පරීක්ෂණ විස්තර: විනිශ්චය පරීක්ෂණයක් (කඩදාසි පරීක්ෂණය) සහ ගොඩනැගිලි පිරිසිදු කිරීම පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරේ. කඩදාසි පරීක්ෂණය යනු ඡායාරූප සහ නිදර්ශන භාවිතා කරන විභාගයකි. ප්‍රායෝගික පරීක්ෂණය කාර්යයන් තුනකින් සමන්විත වේ (කාර්යය 1: බිම මතුපිට සාමාන්‍ය පිරිසිදු කිරීම, කාර්යය 2: වීදුරු මතුපිට සාමාන්‍ය පිරිසිදු කිරීම, සහ කාර්යය 3: බටහිර ක්‍රමයට සෑදූ විශාල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම).