ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිය සහය සපයයි

2024/6/27

2024 ජූනි 27 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන (GGP)" වැඩසටහන යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ ආධාර ප්‍රදාන කොන්ත්‍රාත්තු දෙකක්, මයින් ඇඩ්වයිසරි ගෘප් හෙවත් මැග් (MAG)  ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටි මැක්ලෙනන් මහත්මිය සහ හේලෝ භාරයේ (HALO Trust) වැඩසටහන් කළමනාකරු, පීටර් හියු ස්කොට් බේකර් මහතා සමඟ අත්සන් කරන ලදී.
 
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා සහය ලබාදීම සඳහා MAG සහ HALO භාරය සමඟ එක්ව මෙම ව්‍යාපෘති දෙක සඳහා ජපාන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 1,007,191 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 301) ක සම්පූර්ණ මුදලක් ලබා දී ඇත. ජපානය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන දායකත්වය සපයනු ලබන අතර, මේ දක්වා ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ඉක්මවයි.


MAG සහ HALO හි මෙම ව්‍යාපෘති ද්විත්වය හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ප්‍රතිලාභීන් 16,920ක් සඳහා නැවත පදිංචි කිරීම් සහ ජීවනෝපාය ආධාර ලබා දීම සඳහා මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
ජපානයේ ශ්‍රී ලංකාව සඳහා වන නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.
 
ශ්‍රී ලංකාවේ  බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛ පරිත්‍යාගශීලියෙක් ලෙස ජපන් රජය සිය කාර්යභාරය ඉටු කරමින් සිටින බවත්, බිම් බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන බවත් තානාපති මිසුකොෂි මහතා තරයේ අවධාරණය කළේය.


මෙම ප්‍රදානය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් මැග් (MAG) ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටි මැක්ලෙනන් මහත්මිය ප්‍රකාශ කළේ;
 
2002 වසරේ ශ්‍රී ලංකා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන ආරම්භයේ සිටම ජපානය බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර කරන ප්‍රධාන පරිත්‍යාගශීලියෙක් විය. ජපන් රජයේ ආධාර මත පමණක්, MAG විසින් බිම්බෝම්බ  බලපෑමට ලක්ව ජීවිත සහ අත් පා අවදානම්  ඇතිවීමට සහ ඉඩම් වල සම්පූර්ණ විභවය වළක්වාලමින් බලපෑමට ලක්ව තිබූ ඉඩම්  වර්ග මීටර 3,500,000 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ඇති අතර දශක ගණනාවක ගැටුම් වලින් පසු භූමියේ ඉතිරිව තිබූ බිම් බෝම්බ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය 17,000 කට වඩා මෙම භූමියෙන් ඉවත් කර ඇත.  මෙම අතිරේක අරමුදල් සමඟින්, MAG විසින් ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයෙන් තවත්  වර්ග මීටර 205,128 ක  බිම් ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කරනු ලබන අතර, නේවාසික සහ නැවත පැමිණෙන ප්‍රජාවන්ට මරණ හා තුවාල සිදුවීමේ තර්ජනය අවම කර 5,870 දෙනෙකුගේ ජීවනෝපාය ඉහළ නංවනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා වඩාත් ආරක්ෂිතව භූමිය කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය මෙන්ම ස්වභාවික සම්පත් සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැග් ආයතනය 2002 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය උවදුරෙන් රට මුදා ගැනීමට කටයුතු කර ඇති අතර, දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක කාර්ය මණ්ඩලය 1,000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත. ජපන් රජයෙන් මෙම සුවිශේෂී, අඛණ්ඩ සහයෝගය ලැබීම ගැන අපි කෘතඥ වන අතර ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් නිදහස් රටක් වන තුරු අපගේ හවුල්කාරිත්වය දිගටම පවතිනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
 

HALO භාරයේ වැඩසටහන් කළමනාකරු පීටර් හියු ස්කොට් බේකර් මහතා ප්‍රකාශ කළේ;
 
HALO භාරය ශ්‍රී ලංකාව තුළ සිදු කරන බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ජපන් රජය දක්වන අඛණ්ඩ විශ්වාසය සහ කැපවීම පිළිබඳව අපි බෙහෙවින් කෘතඥ වෙනවා. හේලෝ හී දීර්ඝතම ආධාරකරු ලෙස, වසර 22කට වැඩි කාලයක් ජපානය අපගේ මානුෂීය ප්‍රයත්නයන් සඳහා ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට තර්ජනයක් වුන යුද්ධයේ ප්‍රතිඵල ලෙස ඇතිවුනු පුපුරන සුලු අවශේෂ ඉවත් කිරීමට අපට අවශ්‍ය ආධාර ලබා දෙයි. මේ මගින් පුද්ගල නාශක බිම් බෝම්බ 285,000කට අධික ප්‍රමාණයක් ආරක්ෂිතව විනාශ කිරීමටත්, 280,000කට අධික අවතැන් වූවන් ආරක්ෂිතව නැවත පදිංචි කිරීමට පහසුකම් සලසමින්,  මීට පෙර බිම් බෝම්බ තර්ජනය තිබූ ඉඩම්වලින් වර්ග මීටර 7,551,569 නිදහස් කිරීමටත් ජපන් අරමුදල් දායක වී ඇත. ජපානයේ ත්‍යාගශීලී සහ ස්ථාවර මූල්‍ය සහාය ලංකාවේ පුරැෂයන් සහ කාන්තාවන් සිය ගණනකට ස්ථාවර ආදායම් මාර්ග සහ ජීවනෝපායන් ද සපයා ඇත. ශ්‍රී ලංකාවේ තවමත් ඉතිරිව ඇති බිම්බෝම්බ සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සහ පුද්ගල විරෝධී බිම්බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ වගකීම් කරා ළඟා වීමට ශ්‍රී ලංකා රජයට සහය වීමට HALO භාරයට සහ අනෙකුත් බිම් බෝම්බ ක්‍රියාකාරී මෙහෙයුම්කරුවන් තිදෙනාට ජපන් රජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය ඉතා වැදගත් වේ".