ජපන් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු දෙපළ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ‌දෙරට දක්වන කැපවීම තවදුරටත් අවධාරණය කරති

2024/7/2

ජුලි මස 02 වැනි දින ජපන් විදේශ කටයුතු අමාත්‍ය ගරු. කමිකාවා යෝකෝ මැතිණිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා, ජපානයේ සිය නිල සංචාරය අතරතුර, ටෝකියෝ හි දී මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන (JDS ලෙස හඳුන්වන) සඳහා හුවමාරු සටහන් පත්‍රයට අත්සන් තැබීය. මෙය ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
 
මෙම හුවමාරු සටහන් පත්‍රය හරහා, ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් රජය දළ වශයෙන් රුපියල් මිලියන 578 ක් (ජපන් යෙන් මිලියන 304) වටිනා ආධාර ප්‍රදාන ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය මගින් රාජ්‍ය අංශයේ තරුණ දක්ෂ පරිපාලන නිලධාරීන්හට ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල පුහුණු වීමේ අවස්ථා ලබා දී ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ඔවුන් තම ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීම මින් අරමුණු කරයි. මේ යටතේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 17 දෙනෙකු 2025 න් ආරම්භ වන වසර 2 සිට 3 දක්වා ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට යොමු කරනු ලැබේ. ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය, සහ නාගරික හා ප්‍රාදේශීය සංවර්ධනය ඇතුලත් වේ.


2010 වසර ආරම්භයේ සිට මේ දක්වා, JDS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 222 දෙනෙකුට සහාය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවන් ඉහළ නැංවීමට පමණක් නොව රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමඟින් ශ්‍රී ලංකාව ශක්තිමත් සහ තිරසාර සංවර්ධනයට යොමු කිරීමට ‌මෙම ප්‍රයත්නය සහාය වනු ඇත. නිල ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මෑත කාලීන එකඟතාවයෙන් පසුව එළැඹීමට නියමිත, අප සැවොම අපේක්ෂා කරන, පූර්ණ පරිමාණ ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය ගමන් කිරීමේදී JDS සාමාජිකයන් අනභිබවනීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.
 
JDS සාමාජිකයින් ජපානයේ තම අධ්‍යයන කාලය තුළ අධ්‍යාපන කටයුතු හා සමාජීය ක්‍රියාකාරකම් වලට සම්බන්ද වීම තුළින් වර්ධනය කර ගත් ඔවුන්ගේ මානව සබඳතා ජාලය භාවිතා කරමින් දෙරට අතර සබඳතා ශක්තිමත් කරනා පාලමක් ලෙස කටයුතු කරමින් ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වල අත්තිවාරම් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මෙමගින් අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන්, මෙම වසරේ මාර්තු මාසයේදී JDS ශිෂ්‍යත්ව වැඩසටහන නිමකර ආපසු පැමිණි අය විසින්, JDS ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කිරීමට කටයුතු කිරීම අපි සාදරයෙන් අගය කරමු. JDS ආදි ශිෂ්‍ය සංගමය, ජපානයේදී තමන් ලබාගත් දැනුම හුවමාරු කර ගැනීමට සහ අදාළ අමාත්‍යාංශ සහ නියෝජිතායතන අතර සහයෝගීතාවය දිරිමත් කිරීමටත්, එමගින් විවිධ දුෂ්කරතා මඟහරවා ගැනීමටත් අවසානයේ ශ්‍රී ලංකාව සමෘද්ධිමත් සංවර්ධනය කරා ගෙනයාමටත් උපකාර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපගේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා JDS ආදි ශිෂ්‍ය සංගමය අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
 
අද දින, අපගේ විදේශ අමාත්‍යවරුන් අතර සිදුකෙරුණු මෙම හුවමාරු සටහනට අත්සන් තැබීමත් සමඟ, මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන වෙත අප දක්වන කැපවීම අලුත් කෙරැනු අතර එය අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය  ජවසම්පන්නව ශක්තිමත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.