ජයිකා තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ, “බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම සැකසීමේ ව්‍යාපෘතිය” සඳහා වූ නියමු ව්‍යාපෘතිය භාරදීමේ උත්සවය

2024/7/4

​2024 ජූලි මස 4 වන දින, බත්තරමුල්ල, බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේදී, ජයිකා හී තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක “බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම සැකසීමේ නියමු ව්‍යාපෘතිය” භාරදීමේ උත්සවයකට ශ්‍රී ලංකාවේ වැඩබලන ජපන් තානාපති ගරු කත්සුකි කොටාරෝ මහතා සහභාගී විය.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි සාර්ව මට්ටමින් සිදු කරන කාර්යයන් පමණක් නොව, ශ්‍රී ලංකාවේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා උපකාරී වන මෙවැනි ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපෘතින් හරහා ද  ජපන් රජය ශ්‍රී ලංකා රජය සහ පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ට ආරක්ෂිතව හා සතුටින් ජීවත් වීමට හැකිවෙන පරිදි විවිධ ආකාරයේ සහය ලබා දෙන බවත් වැඩ බලන තානාපති කත්සුකි මහතා ප්‍රකාශ කළේය. ආර්ථික සංවර්ධනයේ දී නොසලකා හැරිය නොහැකි මාතෘකාවක් වන කසළ කළමනාකරණ ගැටලුව විසඳීමට මෙම ව්‍යාපෘතිය තුළින් විසඳුමක් ලැබී ඇති බව ඒ් මහතා පිළිගත්තේය.


බස්නාහිර පළාත තුළ කසළ කළමනාකරණ සැලසුම් සකස් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා රාමුවක් පිහිටුවීම මෙම තාක්ෂණික සහයෝගීතාවයේ අරමුණයි. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස කරදියාන අවසන් අපද්‍රව්‍ය භූමියේදී කසළ රඳවනයේ පාරිසරික බර අවම කිරීම සඳහා නියමු ක්‍රියාකාරකම් සිදු කරන ලදී. මෙහිදී කොම්පෝස්ට් පරීක්ෂාව සඳහා ට්‍රොමෙල් සහ අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ට්‍රැක්ටර් වැනි උපකරණ ලබා දෙන ලදී.
 
ආර්ථික සහ ජනගහන වර්ධනය හේතුවෙන් සෑම වසරකම වැඩිවන සාමාන්‍ය අපද්‍රව්‍ය ප්‍රමාණය අනිසි ලෙස  බැහැර කිරීම නිසා සිදුවන පරිසර දූෂණය සහ විවෘත අපද්‍රව්‍ය බැහැර කිරීම් වැනි අභියෝගවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතී. ඊට ප්‍රතිචාර වශයෙන්, ජපන් රජය 2002 වසරේ සිට ජයිකා ආයතනයේ තාක්ෂණික සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ මුලපිරීම් වලට සහාය දක්වයි. විශේෂයෙන්, 2017 අප්‍රේල් මාසයේදී කොළඹ අවසාන බැහැර කිරීමේ ස්ථානයක ගොඩගැසූ අපද්‍රව්‍ය කඩා වැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මිය ගියේය. මෙයින් පවුල් 418කට බලපෑම් ඇති වූ අතර, ජපන් රජය විසින් හදිසි සහන සැපයුම් ලබා දුන් අතර ජාත්‍යන්තර හදිසි ආධාර කණ්ඩායම් සහ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥයින් ද පිටත් කර එවන ලදී.


මෙම තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය, 2017 සිදූ වූ අනතුරින් පසු පිටත් කර හරින ලද විශේෂඥ කණ්ඩායමේ නිර්දේශ මත සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ක්‍රියාවට නංවන ලදී. ශ්‍රී ලංකා රජය විසින් ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින බස්නාහිර පළාතේ සනීපාරක්ෂාව සම්බන්ද පරිසරයේ දියුණුවක් මෙමගින් අපේක්ෂා කරයි. ජපන් රජය, ජයිකා ආයතනය සමඟ සහයෝගයෙන්, පුරවැසියන්ට සහ සමස්ථ පෘතුවියටම හිතකර ලෙස ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇත.