2024 බොන් ඔදොරි උත්සවය: ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේ සැමරුමක්

2024/7/15
   

ජාතික තරුණ සේවා සභාව, ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association(JSA)] සහ ජපාන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද 2024 බොන් ඔදොරි උත්සවය මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා පරිශයේදී සාර්ථකව පවත්වන ලදී. වැසි සහිත කාලගුණය මධ්‍යයේ වුවද ශ්‍රී ලාංකිකයින් මෙන්ම ජපන් ජාතිකයින් ද සැලකිය යුතු පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියේ දෙරට අතර පවතින ශක්තිමත් සංස්කෘතික සබඳතාවයන් ඉස්මතු කරමිනි.

   

බොන් ඔදොරි යනු මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට ගෞරව කොට සමුදීම පිණිස සිදුකෙරෙන චාරිත්‍රානුකූල ජපන් උත්සවයකි. මෙවර උත්සවයට ශ්‍රී ලංකාවේ සහ ජපානයේ සිරිත් විරිත් ඉස්මතු කරන විවිධ ක්‍රියාකාරකම් සහ ඉදිරිපත්කිරීම් ඇතුළත් විය.

   

ජනප්‍රිය ජපන් ගීත වන තෝකියො ඔන්දො සහ තන්කො බුෂි යන ගීතයන්ට අනුව කොළඹ ජපන් පාසලේ සහ ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ [Lanka Nippon BizTech Institute (LNBTI)] සිසුන් විසින් ඉදිරිපත් කළ බොන් ඔදොරි නර්තනයක් මෙම උත්සවයට ඇතුළත්විය. බොන් නර්තනයන්ට අමතරව  පහත දැක්වෙන අංගයන් විසින් උත්සවයට ඉහළ ආකර්ශනයක් එක් කරන ලදී:
  • කොළඹ ජපන් පාසලේ සහ ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික බෙර (වදඉකො) වාදනය
  • කොළඹ ජපන් පාසලේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද   නන්චු සොරන් නම් නර්තනය
  • ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද කරාතේ සංදර්ශණය
  • ජපන් පොප් සංගීතයට අනුව LNBTI සිසුන් විසින් ඉදිරිපත් කළ නර්තනාංගය
  • ජයිකා (JICA) ස්වේච්ඡා සේවකයන් විසින් ඉදිරිපත් කරන ලද ජපන් සහ සිංහල ගීත ගායනයන් සහ
  • සාම්ප්‍රදායික ජපන් සහ ශ්‍රී ලාංකික නර්තනයන් සම්මිශ්‍රණය කරමින්  ජාතික තරුණ සේවා සභාවේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංගය.
     

තුන්වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි කීර්තිමත් ජපන් ගායිකාවක් සහ JICA හි දිගුකාලීන සහයිකාවක් වන මයෝ ෂෝනෝ මහත්මිය සිය සජීවී ප්‍රසංගය ඔස්සේ හඬ මුසු කරමින්, මෙවර බොන් ඔදොරි උත්සවයට වර්ණවත් හා ප්‍රබෝධමත් බවක් රැගෙන ආවාය.

   

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහ ජපන් සහයෝගිතා සංගමයේ සභාපති හොත්තා මිකිනග යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.

   

Nihonbashi, Sushi Bar Samurai, Yamato, Ginza Hohsen, Kuuraku, Minori, Shikisen සහ Sakura Coffee Farm වැනි සුප්‍රසිද්ධ ජපන් ආපනශාලා වලට අයත් අලෙවි කුටි රැසක් උත්සව භූමිය තුළ දක්නට ලැබුණි. මීට අමතරව ජාතික තරුණසේවා සභාවේ සූපවේදී සිසුන් විසින් ඉදිරපත් කරන ලද අලෙවි කුටියෙහි විවිධාකාර වූ ජපන් ආහාර සහ ජනප්‍රිය ශ්‍රී ලාංකික ආහාර වර්ගද දක්නට ලැබුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔරිගමි සංගමය (Origami Folders Association of Sri Lanka), ශ්‍රී ලංකා බොන්සායි සංගමය, JICA ස්වේච්ඡා සේවකයන්, ජපන් සහයෝගිතා සංගමය සහ ජාත්‍යන්තර සබඳතා සඳහා වන පළාත් පාලන ආයතන කවුන්සිලයේ [Council of Local Authorities for International Relations (CLAIR)] ජපන් පළාත් පාලන ප්‍රවර්ධන කුටිය ඇතුළු ප්‍රවර්ධන හා අලෙවි කුටි රැසක් එක්ව තිබුණි.

   

2024 බොන් ඔදොරි උත්සවය අති සාර්ථක එකක් වූ අතර, අධික වර්ෂාවට පවා උද්යෝගය හීන නොවූ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ සංකේතයක් ද විය. මෙම උත්සවය මිත්‍රත්වයේ සහ සංස්කෘතික උරුමයේ මතක සැමරුමක් බවට පත්කිරීමට උපකාර කළ සියළුදෙනාට, අනුග්‍රාහක භවතුන්ට හා සහභාගී වූ සියල්ලන්ට සංවිධායක මඩුල්ල විසින් සිය හෘදයාංගම ස්තූතිය පුද කරනු ලබයි.