ජපානය, ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ පරිත්‍යාග කරයි
2024/7/22

ජුලි මස 22 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, යුනිසෙෆ් ආයතනය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ නවයක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය මුලපිරීම්වලට සහය දැක්වීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම සංකේතවත් කරන මෙම සුවිශේෂී දායකත්වය මෙරට ප්‍රතිශක්තිකරණ සේවා සහ සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණ ලෙස සලකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී තානාපති මිසුකොෂි මැතිතුමා විසින් ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථවල යතුරු සෞඛ්‍ය අමාත්‍ය ගරු. වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා වෙත ප්‍රදානය කරන ලදී. මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව සමඟ ජපානයේ චිරස්ථායී මිත්‍රත්වය සහ ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානය දක්වන මනා කැපවීම පිළිබඳ සාක්ෂියකි.

තානාපති මිසුකොෂි මැතිතුමා සිය කතාවේදී, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන්ට සහය දැක්වීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ඉස්මතු කරමින්, “මෙම ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ රට පුරා එන්නත් බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමේ අත්‍යවශ්‍ය මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන අතරවාරයේ සෑම ප්‍රජාවකටම, වළක්වා ගත හැකි රෝගවලට එරෙහිව අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බව සහතික කරයි " යනුවෙන් ප්‍රකාශ කලේය.
"Last One Mile Support" වැඩසටහනේ කොටසක් වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වන අතර, විශාල ඉඩ කඩ සහිත ශීත කාමර, අතේ රැගෙන යා හැකි එන්නත් බහාලන උපකරණ සහ උෂ්ණත්ව නිරීක්ෂකයන් ඇතුළුව ශිතකරණ පහසුකම් සහිත උපකරණ කාණ්ඩ කිහිපයක් මේ සඳහා අයත් වේ. මෙම විස්තීරණ සහය ශ්‍රී ලංකාවේ ශිතකරණ පහසුකම් සහිත යටිතල ව්‍යුහය ශක්තිමත් කිරීමට සහ එන්නත් ඵලදායි ලෙස ගබඩා කර බෙදා හැරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට මෙන්ම එන්නත් ඉතා දුර බැහැර ප්‍රදේශවලට පවා ආරක්ෂිතව ළඟා වන බව සහතික කිරීම අරමුණු කරයි.

ජපානය විසින් ලබාදෙන සහයෝගය ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථ පරිත්‍යාගයෙන් ඔබ්බට අංශ ගණනාවක් හරහා විහිදේ. වසර ගණනාවක් පුරා, ජපානය COVAX පහසුකම සහ අනෙකුත් ජාත්‍යන්තර සහයෝගීතාවයන් සමඟ ඒකඟත්වයෙන්, COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ ගෝලීය ප්‍රයත්නයන්ට සක්‍රීයව දායක වී ඇත. සියලුම ජාතීන් සඳහා ආරක්ෂිත සහ ඵලදායී එන්නත් සඳහා ඇති සාධාරණ ප්‍රවේශය පිළිබඳ ජපානයේ විශ්වාසය මෙම කැපවීමෙන් මනාව පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන කැපවීම අගය කරන අතර මෙම පරිත්‍යාගයට පහසුකම් සැලසීම සඳහා යුනිසෙෆ් ආයතනය දක්වන සහයෝගයට කෘතඥතාව පළ කරයි. මේ තුළින් අපි එක්ව, ගෝලීය සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම සහ ලොව පුරා සිටින ප්‍රජාවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ බලය නැවතත් තහවුරු කරමු.