ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර ප්‍රදාන වැඩසටහන (JDS) යටතේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ දක්ෂ පරිපාලන නිලධාරීන් 15 දෙනෙක් සඳහා නව අවස්ථාවන් උදාවේ

2024/7/26

ජූලි මස 26 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්වය සඳහා වන ජපන් ආධාර ප්‍රදාන (JDS) වැඩසටහන යටතේ, ලබන මස ශිෂ්‍යත්වලාභීන් ලෙස ජපානයට යාමට නියමිත නව සාමාජිකයින් 15 දෙනෙකු සඳහා උත්සවයක් පවත්වා ඔවුන්ට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. මෙම උත්සවය, විදේශ අමාත්‍ය, ගරු අලි සබ්රි මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්වීය. JDS වැඩසටහන සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම මස මුලදී එතුමා ජපානයේ සිදු කළ නිළ සංචාරයේදී ජපන් විදේශ අමාත්‍යවරිය සමඟ JDS වැඩසටහන වෙනුවෙන්  හුවමාරු සටහන් පත්‍ර වලට අත්සන් තැබීමද සිදු කෙරිනි.


මෙම JDS ව්‍යාපෘතිය මගින් රාජ්‍ය අංශයේ තරුණ දක්ෂ පරිපාලන නිලධාරීන්හට ජපානයේ විවිධ විශ්ව විද්‍යාලවල පුහුණු වීමේ අවස්ථා ලබා දී ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ඔවුන් තම අභිමත ක්ෂේත්‍රවල අනාගත ජාතික නායකයින් ලෙස සුදුසුකම් ලබා ගැනීමට සැලැස්වීම අරමුණු කරයි. මේ යටතේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 15 දෙනෙකු වසර දෙකක ශාස්ත්‍රපති උපාධි පාඨමාලා හැදෑරීමට යොමු කරනු ලැබේ. ඔවුන්ගේ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට රාජ්‍ය ප්‍රතිපත්ති, සාර්ව ආර්ථික විද්‍යාව, රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණය, කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති සහ ආයෝජන ප්‍රවර්ධනය, සහ නාගරික හා ප්‍රාදේශීය සංවර්ධනය ඇතුලත් වේ.


2010 වසර ආරම්භයේ සිට මේ දක්වා, JDS ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නිලධාරීන් 222 දෙනෙකුට සහාය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය පුද්ගල ධාරිතාවන් ඉහළ නැංවීමට පමණක් නොව රාජ්‍ය අංශයේ ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීමට ද දායක වන අතර එමඟින් ශ්‍රී ලංකාව ශක්තිමත් සහ තිරසාර සංවර්ධනයට යොමු කිරීමට ‌මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.


තවද,  JDS සාමාජිකයින් ජපානයේ තම අධ්‍යයන කාලය තුළ අධ්‍යාපන කටයුතු හා සමාජීය ක්‍රියාකාරකම් වලට සම්බන්ද වීම තුළින් වර්ධනය කර ගත් ඔවුන්ගේ මානව සබඳතා ජාලය භාවිතා කරමින් දෙරට අතර සබඳතා ශක්තිමත් කරනා පාලමක් ලෙස කටයුතු කරමින් ජපානය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වල අත්තිවාරම් තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මෙමගින් අපේක්ෂා කෙරේ.


ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු විවිධ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමට දරණ ප්‍රයත්නයන්ගෙන් පසුව එළැඹීමට නියමිත, අප සැවොම අපේක්ෂා කරන, පූර්ණ පරිමාණ ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය ගමන් කිරීමේදී මෙම නව JDS සාමාජිකයන් 15 දෙනා අනභිබවනීය කාර්යභාරයක් ඒ වෙනුවෙන් ඉටු කරනු ඇතැයි තානාපති මිසුකොෂි මැතිතුමා සිය අවංක බලාපොරොත්තුව පළ කලේය. අනාගතයේදී දීප්තිමත් හා වඩාත් සමෘද්ධිමත් ද්විපාර්ශ්වික සබඳතාවන් ප්‍රවර්ධනය කිරීමට හැකි පරිපූර්ණ නායකයින් බවට JDS සාමාජිකයන් පත්වනු ඇතැයි ද මේ සඳහා ජපානය සහ ජපන් ජනතාව සමඟ සමීපව සහ ක්‍රියාශීලීව කටයුතු කරනා ලෙස ඔහු තවදුරටත් JDS සාමාජිකයන්ව දිරිමත් කළේය.
 
මෙම මස මුලදී, අපගේ විදේශ අමාත්‍යවරුන් අතර සිදුකෙරුණු JDS ව්‍යාපෘතිය සඳහා වූ හුවමාරු සටහනට අත්සන් තැබීමත් සමඟ, මානව සම්පත් සංවර්ධනය සඳහා වූ ශිෂ්‍යත්ව වැඩසටහන වෙත අප දක්වන කැපවීම අලුත් කෙරුණු අතර, එය අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය  වඩාත් ජවසම්පන්නව ශක්තිමත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.