කෝසල රෝහණ වික්‍රමනායක මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” සම්මානයෙන් පිදුම් ලබයි

2024/7/31

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආර්ථික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා ජපන් මිත්‍රත්ව සංගමයේ මෙන්ම ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වූ කෝසල රෝහණ වික්‍රමනායක මහතා විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයමින්, එතුමා වෙත “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” (The Order of the Rising Sun, Gold Rays with Rosette) සම්මානය පිරිනැමීම, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් 2024 ජූලි මස 30 වන දින සිදුකරන ලදී.


විශේෂයෙන්ම වික්‍රමනායක මහතා ලංකා ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2011-2012 සමයේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ගැඹුරු කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව තානාපති මිසුකොෂි මහතා සිය ප්‍රශංසාව පල කළේය.


ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය සඳහා වික්‍රමනායක මහතා විශාල දායකත්වයක් ලබාදී ඇති බව තානාපති මිසුකොෂි මහතා අවධාරණය කළේය. සිය ව්‍යාපාරික අත්දැකීම් මත ජපන් සමාගම් සහ ව්‍යාපාර පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුත් ඒ මහතා, ජපන් සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමට සහ ඒවාට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමඟ එක්ව සමෘද්ධිමත් වීමට අවශ්‍ය උත්ප්‍රේරණය සපයා ඇති අතර, එය ශ්‍රී ලංකාව තුළ ජපානය පිළිබඳ උනන්දුව සහ අවබෝධය වැඩි කිරීමට උපකාරී වී ඇත.


“ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්” (The Order of the Rising Sun) සම්මානය, ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින්ට ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් විසින් පිරිනමනු ලැබේ.
 
මෙම සම්මානය පිරිනැමීමේ සුවිශේෂි අවස්ථාව ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.