අතුල එදිරිසිංහ මහතා “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානයෙන් පිදූම් ලබයි

2024/8/12

2024 අගෝස්තු මස 09 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මැතිතුමා විසින් ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමයේ [Japan Sri Lanka Technical & Cultural Association (JASTECA)] හි හිටපු සභාපති සහ කොළඹ පිහිටි ජපන් අවන්හලක් වන “කූරකු” (KUURAKU) හි සම හිමිකරු /අධ්‍යක්ෂක අතුල එදිරිසිංහ මහතා  වෙත “ද ඕඩර් ඔෆ් ද රයිසින් සන්, ගෝල්ඩ් රේය්ස් විත් රොසෙට්” (The Order of the Rising Sun, Gold and Silver Rays) සම්මානය ප්‍රදානය කරන ලදී. එතුමා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා සහ අන්‍යෝන්‍ය අවබෝධය සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් මෙම ඇගයීම සිදුකරන ලදී.


"එස් 5" මූලධර්මය සහ ආයතන තුළ අඛණ්ඩ වැඩිදියුණුව ඇති කිරීමේ භාවිතයක් වන "කයිසන්" මූලධර්මය වැනි ජපන් මාදිලියේ කළමනාකරණ පද්ධති ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා එදිරිසිංහ මහතා දරණ නොපසුබට උත්සාහය පිළිබඳව තානාපති මිසුකොෂි මහතා ප්‍රශංසා කළේය. JASTECA හි දිගුකාලීන සහ මනා කැපවීමක් ඇති සාමාජිකයෙකු ලෙස මෙන්ම විශේෂයෙන්ම ඔහු සභාපතිත්වය දැරූ ධුර කාලය තුළ, ඔහු දැක්වූ නොසැලෙන කැපවීම ශ්‍රී ලංකාවේ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී මෙම භාවිතයන් පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට දායක වී ඇති අතර, ඵලදායිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සහ දෙරට අතර සමීප ආර්ථික සබඳතා වර්ධනය කිරීමට ද බෙහෙවින් ඉවහල් වී ඇත.


එදිරිසිංහ මහතා තම ජපන් අවන්හලේ එනම් කූරකු හි සම හිමිකරු /අධ්‍යක්ෂවරයා ලෙස සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු  කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ද තානාපති මිසුකොෂි මහතා අවධාරණය කළේය. කූරකු ආයතනය කොළඹ නගරයේ ජපන් ආහාර සහ සංස්කෘතිය ශ්‍රී ලංකාවේ ජනතාව අතර හුවමාරැ කර ගන්නා ප්‍රචලිත ස්ථානයක් බවට වර්තමානයේ පත්ව ඇත. කොවිඩ් -19 වසංගත සමය තුළ ඔහු තම ආයතනය හරහා සේවාව අඛන්ඩව ලබා දීමට දැරූ විශිෂ්ට උත්සාහය, විශේෂයෙන්ම රටේ පළමු වැනි වරට ජපන් ආහාර දොරින් දොර බෙදා හැරීමේ සේවාව හඳුන්වාදීම සහ රට වසංගතය හේතුවෙන් වසා දමා ඇති විට ජපන් ප්‍රජාවට හුරුපුරුදු ආහාර සඳහා ප්‍රවේශය ලබා දීම මගින් ඔවුන්ට දැක්වූ සහායෝගය ඉතා අගනේය.


"The Order of the Rising Sun" ජපානය සමඟ මිත්‍රශීලී සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින් සඳහා ජපන් අධිරාජයා විසින් පිරිනමනු ලබන සම්මානයකි.


තවද මෙම සුවිශේෂී උත්සවය හරහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා ‌කෙරේ.