ජපානය මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම් සඳහා උතුරු පළාතට සිය සහය සපයයි
2024/8/22

2024 අගෝස්තු මස 22 වන දින, ජපන් තානාපති ගරු මිසුකොෂි හිදෙඅකි මහතා, " බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන [Grant Assistance for Grassroots Human Security Projects (GGP)]" වැඩසටහන යටතේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක්, සක්විතා මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතියේ [Skavita Humanitarian Assistance and Relief Project (SHARP)] අධ්‍යක්ෂ සහ ක්ෂේත්‍ර වාර්තාකරණ නිලධාරී සුමති රන්ජන් බාලසූරිය මහතා සහ Delvon Assistance for Social Harmony (DASH) හි අධ්‍යක්ෂ සහ වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සමඟ අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සිය සහය ලබා දීම සඳහා SHARP සහ DASH සමඟ එක්ව මෙම ව්‍යාපෘති දෙක සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 1,007,194 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 300) ලබා දී ඇත. ජපානය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන දායකත්වය සපයනු ලබන අතර, මේ දක්වා ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 46 ඉක්මවයි.
SHARP සහ DASH හි මෙම ව්‍යාපෘති ද්විත්වය උතුරු පළාතේ ප්‍රතිලාභීන් 6,304ක් සඳහා නැවත පදිංචි කිරීම් සහ ජීවනෝපාය ආධාර සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජපානයේ ශ්‍රී ලංකාව සඳහා වන නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වනුයේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්වල ප්‍රමුඛ පරිත්‍යාගශීලියෙකු ලෙස ජපාන රජය සිය කාර්යභාරය ඉටු කිරීමට කැපවී සිටින බවත්, “බිම් බෝම්බ බලපෑමෙන් තොර ශ්‍රී ලංකාවක්” සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහය දිගටම ලබා දෙන බවත් තානාපති මිසුකොෂි මහතා දැඩි ලෙස මෙහිදී අවධාරණය කළේය.
මෙම ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින්, SHARP හි අධ්‍යක්ෂ සහ ක්ෂේත්‍ර වාර්තාකරණ නිලධාරී සුමති රන්ජන් බාලසූරිය මහතා මෙසේ පැවසීය.
2016 වසරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා SHARP කෙරෙහි ජපන් තානාපති කාර්යාලය තබා ඇති විශ්වාසය පිළිබඳව SHARP කෘතඥතාව පළ කරන අතර එය මහත් අගය කරයි.
2024 ජූලි වන විට, ජපන් රජයේ ආධාර මගින්, SHARP විසින් වර්ග මීටර් 2,846,650 ක භූමි ප්‍රමාණයක් නිදහස් කර පුද්ගල නාශක බෝම්බ 11,889 ක්, ටැංකි නාශක බිම්බෝම්බ 169 ක්, 4,666 ක් පුපුරා නොගිය උණ්ඩ 4,666 ක් සහ කුඩා අවි 57,773 කට අධික ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත. මේ මගින් පවුල් 3318ක් සෘජුව සහ වක්‍රව ප්‍රතිලාභ ලබයි. SHARP විසින් ඉවත් කරන ලද මුළු ඉඩම්වලින් 90% කට වඩා ජපානයේ ආධාර මගින් සිදුකර ඇත.
SHARP ආයතනය ජපන් තානාපති කාර්යාලය සහ අනෙකුත් සියලුම ආයතන සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරමින් අපගේ උපරිමයෙන් මෙහෙයුම් කටයුතු දිගටම කරගෙන යනු ඇත.
SHARP සඳහා නොමද සහයෝගය ලබා දීම වෙනුවෙන් ජපානයේ වෙසෙන සියලුම ජනතාව වෙත SHARP හි සියලුම සාමාජිකයින්ගේ හෘදයාංගම කෘතඥතාව සහ ස්තුතිය පිරිනමනු ලබන අතර, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලදී ජපන් තානාපති කාර්යාලය ඉදිරියෙන්ම සිටීම සහ ඔවුන්ගේ අඛණ්ඩ සැලකිල්ල පිළිබඳව, අවංක කෘතවේදීත්වය අප පළකර සිටිනවා.

මේ අවස්ථාවේ DASH හි අධ්‍යක්ෂ සහ වැඩසටහන් කළමණාකාර ආනන්ද චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය.
“දශක 7ක් පුරාවට ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගීතාව සහ මිත්‍රත්වය අගනා උපකාරයකි. 2002 වර්ෂයේ ආරම්භයේ සිටම ජපානය ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාතික වැඩසටහනට ප්‍රධාන අනුග්‍රහය දැක්වු අතර, ජපානයේ ආධාර ඇතිව 2010 දී අපගේ DASH සංවිධානය සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ වෙනුවෙන් ජපානයට සහ එහි ජනතාවට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

2024 අගෝස්තු වන විට, ජපන් රජයේ ආධාර මගින්, DASH විසින් සම්පූර්ණයෙන් වර්ග මීටර් 7,546,161 ක භූමියක පැතිර තිබූ පුපුරණ දෑ ඉවත් කරන ලද අතර මෙහිදී පුද්ගල නාශක බෝම්බ 55,907 ක්, ටැංකි නාශක බෝම්බ 113 ක්, 14,073 ක් පුපුරා නොගිය උණ්ඩ සහ කුඩා අවි 77,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. මෙ මගින් වක්‍රව 110,842 දෙනෙකු ප්‍රතිලාභ ලබා ඇත. 1983 සිට ශ්‍රී ලංකාවේ වසර 26ක දිග්ගැස්සුනු අභ්‍යන්තර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස එතරම් ප්‍රසිද්ධ නොවූ ඛේදවාචකයක් වූයේ උතුරු ප්‍රදේශවල භූමින් බිම් බෝම්බ සහ යුධ පුපුරණ ද්‍රව්‍ය (ERW) මගින් දූෂණය වීමයි. මේ වන විට එහි විශාල කොටසක් ඉවත් කර ඇතත්, ශ්‍රී ලංකාව බිම් බෝම්බ සහ ERW වලින් තොර බවට පත් කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇත. ජපානයේ අරමුදල් ආධාරයෙන් DASH ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද නිෂ්කාශනය නැවත පදිංචි වූ ජනතාවගේ ආරක්ෂාව සහ තිරසාර ආර්ථිකය නැවත ස්ථාපිත කිරීමට සහ ඔවුන්ගේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රබල ලෙස දායක වී තිබේ.