ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාවෙන් පිදුම් ලබයි

2024/9/10

සැප්තැම්බර් මස 10 වන දින, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු . මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව, [Sri Lanka Japan Business Council (SLJBC)] වෙත එහි 45 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අවස්ථාවේදී විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව පිරිනමන ලදී.


ජපානය හා අනෙකුත් රටවල් සහ ප්‍රදේශ අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහණ ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා ජපන් විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව පිරිනමනු ලැබේ. මෙම ප්‍රශංසාවෙහි අරමුණ වන්නේ ලබන්නන්ගේ ක්‍රියාකාරකම් සඳහා ජපන් මහජනතාවගේ අවබෝධය සහ සහයෝගය ප්‍රවර්ධනය කිරීමයි.


ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව පසුගිය වසර 45 තුළ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ සහ ශක්තිමත් කිරීමට මූලික වූ ආයතනයක් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පළමු ද්විපාර්ශ්වික ව්‍යාපාරික කවුන්සිලය ලෙස 1979 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව, ජාතීන් දෙක අතර වෙළෙඳ, සංචාරක සහ ආයෝජන සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර වැඩසටහන් රාශියකට නායකත්වය ද දී ඇත. කවුන්සිලය එහි ජපන් සහකරු වන ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටු සමඟ සහයෝගයෙන් ඒකාබද්ධ රැස්වීම් 19ක් මේ වන විට සාර්ථකව සංවිධානය කර තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම ගැඹුරු ආර්ථික සහයෝගීතාව පෝෂණය කිරීම සහ දෙරටේ ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් වු රැස්වීම් සංවාද සඳහා වැදගත් වේදිකාවක් ලෙස ද මෙම ආයතනය කටයුතු කර ඇත. මීට අමතරව, 2014 වසරේ එවකට අග්‍රාමාත්‍ය අ‌‌බේ න්සෝ මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ප්‍රධාන ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීම ඇතුළුව, ඉහළ මට්ටමේ සංචාර වලදී ප්‍රමුඛ සිදුවීම් සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෑත වසරවලදී, කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ පසුකාලීන ආර්ථික අර්බුදය කැපී පෙනෙන අතර, ව්‍යාපාරවලට අත්‍යවශ්‍ය ජාලකරණ අවස්ථා ලබා දෙමින් සහ විභව සහයෝගීතාව සඳහා අඛණ්ඩ සංවාදයක් සහතික කරමින් ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව දැක්වූ නොසැලෙන සහයෝගය ඉතා ප්‍රශංසනීය වේ.


ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව දක්වන ස්ථාවර කැපවීම වෙනුවෙන් තානාපති මිසුකොෂි මැතිතුමා සිය ප්‍රකාශයේ දී සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැනි අභියෝගාත්මක කාලවලදී ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය හඳුනා ගනිමින්, පසුගිය වසර 45 පුරා ද්විපාර්ශ්වික වෙළඳාම, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ දී ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාවෙහි ප්‍රධාන භූමිකාව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතට පිවිසෙන බැවින් ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාවෙහි අනාගත දායකත්වයේ ඇති වැදගත්කම ද තානාපති මිසුකොෂි මැතිතුමා අවධාරණය කළේය. මෙම තීරණාත්මක කාල පරිච්ෙඡ්දය තුළ ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සභාව මෙරට තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ දෙරටේ පෞද්ගලික අංශ අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
 
මෙම ප්‍රශංසනීය අවස්ථාවෙන් අනතුරැව ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.