ශ්‍රී ලංකා ජපන් භාෂා ආචාර්යවරුන්ගේ සංගමය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ (ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි
2024/9/13

2024 සැප්තැම්බර් මස 12 වන දින ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින්, ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයේ උන්නතියට හා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදතාවය වර්ධනය කිරීම සඳහා දක්වන ලද කැපී පෙනෙන දායකත්වය අගයමින්, ශ්‍රී ලංකා ජපන් භාෂා ආචාර්යවරුන්ගේ සංගමය [Japanese Language Teacher's Association of Sri Lanka (JALTAS)] වෙත ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයʼ (ʻForeign Minister's Commendationʼ) ප්‍රදානය කරන්නට යෙදුණි.
මෑතකදී නවීකරණය කොට විවෘත කරන ලද ජපාන තානාපති කාර්යාලයේ "The Ballroom" ශාලාවේ පැවති උත්සවයකදී JALTAS හි සභාපතිනි දර්ශනී ජයසේකර මහත්මිය විසින් සංගමය වෙනුවෙන් මෙම සම්මානය පිළිගන්නා ලදී.

වර්ෂ 2004 දී ආරම්භ කරන ලද JALTAS සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමෙහිලා මූලික වී ඇත. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සඳහා වන ජපන් භාෂා සම්මන්ත්‍රණ, ජපන් භාෂා ගුරු පුහුණු සම්මන්ත්‍රණ, ජපන් නාට්‍ය තරඟ සහ ජපන් කඳවුර වැනි විවිධ වැඩසටහන් හරහා JALTAS සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ජපන් භාෂා කුසලතාවයන් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කර ඇත.
ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලද ජපන් සංස්කෘතික ප්‍රදර්ශන JALTAS හි තවත් එක් වැදගත් දායකත්වයකි. මෙම ප්‍රදර්ශන සෑම වසරකම දහස් සංඛ්‍යාත නරඹන්නන් ආකර්ෂණය කර ගත් අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ගැඹුරු කළේය.

සම්මාන ප්‍රදානෝත්සවයේදී තානාපති මිසුකොෂි මහතා සිදුකරන ලද සිය කතාවේදී JALTAS හි සියලුම සාමාජිකයින්ට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ අතර, ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අගය කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ බැඳීම් ශක්තිමත් කිරීම සඳහා JALTAS විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය පිළිබඳව සිහිපත් කළ එතුමා, ජපානයේ රජය සහ ජනතාව වෙනුවෙන් සිය ප්‍රශංසාව ද පළ කළේය.
මෙම සම්මාන ප්‍රදානය තුළින් ජපානය සහ ශ්‍රී ලංකාව යන දෙරටේම සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා පවතින කැපවීම පිළිඹිබු වන අතර, අනාගතයේ දී JALTAS සමඟ අඛණ්ඩ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ජපාන තානාපති කාර්යාලය අපේක්ෂා කරයි.

ජපානය සහ විදේශ රටවල් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයන් ලබාගත් පුද්ගලයින් සහ සංවිධානයන් වෙත එම දායකත්වය අගය කිරීම පිණිස විදේශ අමාත්‍යවරයාගේ සම්මානය පිරිනමනු ලැබේ.