ශ්‍රී ලංකාවේ ජපන් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයෙන්ʼ (ʻForeign Minister's Commendationʼ) පිදුම් ලබයි
2024/10/15

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා, විශේෂයෙන් සැලකුවහොත් අධ්‍යාපන, සංස්කෘතික හා වෘත්තීය හුවමාරු වැනි ක්ෂේත්‍රයන්හි සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජපන් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය [The Japanese Graduates’ Alumni Association of Sri Lanka (JAGAAS)] විසින් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය අගයමින්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා විසින් එම සංගමය වෙත ʻවිදේශ අමාත්‍යවරයාගේ සම්මානයʼ (ʻForeign Minister's Commendationʼ) ප්‍රදානය කරන ලදී.

ජපාන තානාපතිවරයාගේ නිල නිවසේ පැවති උත්සවයකදී මෙම සම්මාන ප්‍රදානය සිදුකරන ලදී. JAGAAS එහි ආරම්භක වර්ෂය වන 1993දී පටන් ද්විපාර්ශ්වික සබඳතා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටින අතර, එහි වත්මන් සභාපතිවරයා වන ආචාර්ය සුනිල් නවරත්න මහතා විසින් සංගමය වෙනුවෙන් මෙම සම්මානය පිළිගන්නා ලදී. ජපානයේ උසස් අධ්‍යාපනය හැදෑරූ ආදි විද්‍යාර්ථීන්ගෙන් සමන්විත JAGAAS, විද්‍යාව, කලාව, සහ කළමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් බුද්ධි මණ්ඩලයක් ලෙස කටයුතු කරනු ලබයි.

තානාපති මිසුකොෂි මහතා විසින් JAGAAS හි උත්සාහයන් අගය කරනු ලැබූ අතර, ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා එරට ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන ලදී. මෙහිදී එතුමා විසින් දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ ලා එම සංගමය විසින් දක්වන ලද දායකත්වය ඉස්මතු කරන ලදී.
JAGAAS විසින් සිදුකිරීමට යෙදුණු කැපී පෙනෙන මුලපිරීම් සමහරක්:
- ජපන් අධ්‍යාපන සම්මන්ත්‍රණය: ජපාන තානාපති කාර්යාලය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානය [Japan International Cooperation Center (JICE)] සමඟ එක්ව පවත්වනු ලබන මෙම වාර්ෂික සම්මන්ත්‍රණය ශ්‍රී ලාංකික සිසුන් සහ වෘත්තිකයන් රැසකට ජපානයේ උසස් අධ්‍යාපනය සහ සංස්කෘතික හුවමාරුව සඳහා වන අවස්ථාව උදාකරදෙයි
- බොන් ඔදොරි උත්සවය: වර්ෂ 1993දී මෙරටට හඳුන්වාදුන් මෙම උත්සවය ජපන් ගිම්හාන සම්ප්‍රදායන්හි විචිත්‍රත්වය අත්විඳීමට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ සලසමින් කොළඹ නගරයේ වඩාත්ම ප්‍රියජනක සංස්කෘතික උත්සවයක් බවට පත්ව ඇත
- සමරු ප්‍රකාශන: විද්වත් ප්‍රකාශන පලකිරීම හා ශාස්ත්‍රීය සංවාද සාරවත් කිරීම මගින්, දෙරට අතර ඓතිහාසික සබඳතා ඉස්මතු කරමින් ශ්‍රී ලංකා-ජපාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන්හි 50, 60 සහ 70 වැනි සංවත්සරයන් JAGAAS විසින් සනිටුහන් කර ඇත
- සම්මන්ත්‍රණ සහ වැඩමුළු: JAGAAS විසින් කෘෂිකර්මාන්තය, පෝෂණය සහ මත්ස්‍ය සැකසුම් පිළිබඳ ජපන් විශේෂඥ දැනුම බෙදාගෙන ඇති අතර, මෙම අංශවල ශ්‍රී ලංකාවේ නවෝත්පාදනයට සහ වර්ධනයට දායකත්වය ලබාදේ
- නිශ්චිත පුහුණු ශ්‍රමික වැඩසටහන [Specialized Skilled Worker (SSW) Programme]: ජපාන ශ්‍රම බලකාය සමඟ ශ්‍රී ලාංකීය පුහුණු ශ්‍රමිකයින් සම්බන්ධ කර ගැනීමට පහසුකම් සපයන මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා JAGAAS විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී
- ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් ක්‍රියාත්මක කරනු ලබන “යොකොසෝ නිහොන්-එ” ජපන් භාෂා වැඩසටහන නිර්මාණය කිරීම ආරම්භ කිරීම
- ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ලබන ජපන් ජාතිකයින් /සංවිධාන සහ ශ්‍රී ලාංකික ආදි විද්‍යාර්ථීන් ඇගයීම සඳහා JAGAAS සම්මානය ස්ථාපිත කිරීම.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම ශක්තිමත් කිරීම සඳහා JAGAAS විසින් දක්වන ලද අමිල කැපවීම මෙම සම්මානය මගින් සංකේතවත් කරයි.
ජපානය සහ විදේශ රටවල් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණයන් ලබාගත් පුද්ගලයින් සහ සංවිධානයන් වෙත එම දායකත්වය අගය කිරීම පිණිස විදේශ අමාත්‍යවරයාගේ සම්මානය පිරිනමනු ලැබේ.