අභියෝගාත්මක කාලවලදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දායක වූ තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා ශ්‍රී ලංකාවේ නිල කාලය සම්පූර්ණ කරයි

2024/10/22

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි මහතා සිය ධුර කාලය අවසන් කර 2024 ඔක්තෝබර් 24වන දින ස්වීඩනයේ ජපාන තානාපතිවරයා ලෙස පත්වයාමට නියමිතය. 2021 නොවැම්බර් මස මෙරටට පත්ව ආ තානාපති මිසුකොෂි මහතා, අභියෝග රැසකින් සමන්විත වූ කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම  සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

 සිය ධුර කාලය තුළ තානාපති මිසුකොෂි මහතා එකිනෙකට වෙනස් පරිපාලනයන් ත්‍රිත්වයක් සමඟ කටයුතු කළේය. හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරු මෙන්ම, වත්මන් ජනපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා සමඟ ද වෙනස්වන දේශපාලන පරිසරයට අනුගත වෙමින්, දෙරට අතර සහයෝගීතාවය වෙනුවෙන් අඛණ්ඩව සහාය දක්වමින් හෙතෙම කටයුතු කළේය. කොවිඩ් - 19 වසංගතය, ආර්ථික අර්බුදය සහ ඉන් පසුව ඇති වූ මානුෂීය හා ආර්ථික අභියෝග අතරතුර ජපානය වෙතින්  ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීමේදී එතුමා විසින් දරණ ලද ප්‍රයත්නයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා මැදිහත්වීම සහ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් ජපානයේ ඇති දිගුකාලීන කැපවීම එතුමා විසින් ඉස්මතු කරන ලදී.

 
ඔක්තෝබර් 21වන දින පැවති සමුගැනීමේ උත්සවයකදී විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට තානාපති මිසුකොෂි මහතා ගන්නා උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය පළකරන ලදී. එතුමා විසින් ඉටුකරන කාර්යභාරය වෙනුවෙන් පුළුල් සහයෝගයක් ලබාදෙමින්, විවිධ දේශපාලන පක්ෂවල නායකයින්, හිටපු ජනාධිපතිවරුන් සහ විදේශ ධූත මණ්ඩල නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 තානාපති මිසුකොෂි මහතා ශ්‍රී ලංකාවේ ගත කළ කාලය පුරාවටම, සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වෙමින් දේශීය ප්‍රජාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගත්තේය. එතුමාගේ භාර්යාව වන, මිසුකොෂි මරිකෝ මහත්මිය, විශේෂයෙන්ම මෙරට කාන්තාවන් හා සම්බන්ධතා ගොඩනඟාගනිමින්, ද්විපාර්ශවික සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට දායක වූවාය.


පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේදී, තානාපති මිසුකොෂි මහතා ශ්‍රී ලංකාව සමඟ එතුමාගේ පවතින ගැඹුරු සම්බන්ධතාවය පිළිබඳව මෙනෙහි කළේය. “මම ශ්‍රී ලංකාවට එනකොට කිසිම ශ්‍රී ලාංකිකයෙක් මාව දැනගෙන හිටියේ නැහැ. දැන් මම උදෑසන ව්‍යායාම පිණිස ඇවිද යනවිට පාරේ යන මිනිස්සු මගේ ළඟට ඇවිත් ජපානය ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් කළ මෙහෙවරට ස්තුති කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ලද ජයග්‍රහණය පිළිබඳ හැඟීමක් මා වෙත ඇතිකරවනු ලබන්නේ ශ්‍රී ලාංකීය ජනතාව ජපානය කෙරෙහි දක්වන ඇගයීම පෙන්වන මෙවැනි අවස්ථාවන්ය.”